දහම් දැනුම ගන්න එංගලන්තයේ ලොකු ඉල්ලුමක්


දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් සහභාගී කරවීමේ ලොකු කැමැත්තක් පවතින බැවින් එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි දහම් පාසල් සඳහා දරු දැරියන් වැඩි වැඩියෙන් සහභාගිවන බව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

ඒ හිමියන් මේ බව සඳහන් කළේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ විවිධ ප්‍රසංගයන්හිදී ය.

මෙවර දහම් පාසල් උත්සවය දින දෙකක් පුරා පැවැත්විණි.

මුල් දිනය බාලාංශ පන්ති සඳහාත් දෙවැන දිනය ජ්‍යෙෂ්ඨ සහ ඩිප්ලෝමා පන්ති සඳහාත් වෙන් විය.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දහම් පාසල් විභාගය සමත්වුවන්හට සහතික පත් බෙදා දුන් අතර බෞද්ධ මෙන්ම ශ්‍රී ලාංකික ජනප්‍රවාද යොදාගනිමින් නිෂ්පාදිත නාට්‍යංග, බොදු බැති ගී සහ නර්තන අංග ඇතුලත් මනහර සංස්කෘතික සංදර්ශනයන්ද පැවැත්විණි.

පසුගිය වසරේ විභාගය සඳහා ඉදිරිපත්වූ සියලුම දෙනා සමත්ව සිටියහ. 

ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසල මෙන්ම එයට අනුබද්ධිත පුබුදු දහම් පාසලෙහි සිසු සිසුහු මෙම උත්සවයට සහභාගී වුහ.  මෙම පන්ති වල සිංහල භාෂාවද උගන්වන නිසා බෞද්ධ නොවන දරුවන්ද ඒ සඳහා සහභාගී වෙති.

විහාරවාසී සියලුම භික්ෂුන් වහ්සේ සහ ගුරුවරුන් දහම් පාසලේ ඉගැන්වීමේ කටයුතු කරනුයේ ස්වෙච්ඡාවෙනි. මෙවර දහම්පාසල් දින උත්සවය සාර්ථකව සංවිධානය කිරීමේදී මහා සංඝ රත්නය, ගුරුවරුන්, සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දායක කාරකාදීන් උදව් උපකාර කල බවත් සියලුම සිසු සිසුවියන්ද උනන්දුවකින් සහභාගී වූ බවත් රාහුල දහම් පාසලේ ප්‍රධානාචාර්ය  තවලම බන්දුල හිමියෝ පුණ්‍යානුමෝදනා කරමින් පැවසුහ.

විහාරවාසී පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචිත ගීත තුනක් සඳහා බාලාංශ පන්තිවල දරුවෝ  මනහර රංගනයන් ඉදිරිපත් කළහ.

වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය චානක තල්පහෙවා සහ එම කාර්යාලයේ බී.එන්. පතිරත්න ආරාධිත අමුතන්තෝ වුහ.

1 3 5 6 10 11 12 14_1