දවුල්දෙණ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට 3.30 ට


(ඩයනා උදයංගනී)

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම මෙරට සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ මහ තෙර නමක වූ අපවත් වී වදාළ දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර අමරපුර මහා සංඝ සභාවේ මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී හෙට (6) පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය.

මහ නා හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, පාගොඩ පාරේ ශ‍්‍රී විද්‍යා විජය විහාරස්ථානයේ සිට නිදහස් පිටිය දක්වා රථ පෙරහැරකින් රැගෙන ඒමට නියමිත බව ආදාහන කමිටු සාමාජික බුදුගල ජිනවංශ හිමියෝ පැවසූහ. දේහය රැගත් රථ පෙරහැර එදින පස්වරු 1.00ට ශ‍්‍රී විද්‍යා විජය විහාරස්ථානයෙන් පිටත් වන අතර එය පස්වරු 3.00 වන විට නිදහස් චතුරස‍්‍රය වෙත පැමිණීමට නියමිතය.

දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු පස්වරු 3.30ට ආරම්භ වේ. තෛනිකායික මහ නා හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.