දරුවන් රකින්න නීතියෙන් ’’දඬුවැටක්’’


(අංජුල මහික වීරරත්න)

ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෑත කාලීනව  සමාජයේ ඇතිවී තිබෙන විවිධ වෙනස්කම් හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම තහවුරු කිරීම අභියෝගයක්ව පවතින බව රජය පවසයි.

දරුවන් විවිධ අපයෝජකයන්ට ලක්වීම ඔවුන් විවිධ අපචාරී ක්‍රියාවල යෙදවීම මෙන්ම ඔවුන්ට තම අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අවස්ථාවන් අහිමි වන අවස්ථාවන්ද බහුලව වාර්තා වී ඇතැයි රජය කියයි.

එබැවින් ශ්‍රී ලාංකික දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීම සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන වලට අමතරව ළමා අයිතිවාසිකම් සම්මුතියේ සඳහන් සියලු අයිතීන් සුරක්ෂිත වන සේ සංයුක්ත පනතක් සම්පාදනය කිරීමට යෝජනා වී ඇත.

ඉදිරි 25 වසර මැයෙන්  වන 2023-1-9 දිනැති අමාත්‍ය  මණ්ඩල තීරණයක් මගින් ළමා ආරක්‍ෂණ පනත නමින් නව පනතක් හඳුන්වාදීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.