දරුවකු බේසමක ගිල්වීමේ සිද්ධිය ගැන ළමා අධිකාරියෙන් විමර්ශනයක්


(සුජිත් හේවාජුලිගේ)

සමාජ මාධ්‍යයන්හි මේ දිනවල සංසරණය වන කුඩා දරුවකු වතුර බේසමකට ගිල්වා පහරදීමේ දර්ශනවලට අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති  ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය උදය  කුමාර අමරසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවද ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය කලකට ඉහත සිදුවූ සිද්ධියක් බවත්  සිද්ධියේ සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින්නකු යැයි තොරතුරු අනාවරණයවී ඇති බවත්   අමරසිංහ මහතා කිවේය.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස් පරීක්ෂණ කර ඇති ආකාරය, සිද්ධිය ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇත්ද  යන්න  ඇතුළු කරුණු පිළිබඳව  තොරතුරු දැනුම් දෙන ලෙසද  නිලධාරීන්ට දැන්වූ බව   හෙතෙම සඳහන් කළේය.

මේ අතර  සමාජ මාධ්‍යයන්හි කාලයකට පෙර සංසරණයවූ සමහර දර්ශන  පසු කාලීනව නැවත නැවත හුවමාරු කෙරෙන අවස්ථා සුලභව දක්නට ලැබෙන බව පැවසූ සභාපතිවරයා ඉහත සිද්ධියේ දර්ශන නැවත නැවතත් හුවමාරු කෙරෙන හෙයින් ඒ ගැන ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇතැයිද   සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති නම් ඒ සඳහා සුදුසු පියවර ගන්නා බව උදය  කුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.