දයාසිරිගෙන් නාහිමිවරුන් තිදෙනෙකුට ලිපියක්


(සුජිත් හේවාජුලිගේ)

රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ  බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි   සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී  සුමංගල  මල්වතු මහනාහිමියන්ට  සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු  අනු නාහිමිවරුන්ට ඊයේ  (19) ලිපියක් යවමින්  ඉල්ලීමක් කළේය.

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන්  හර විෂය කාණ්ඩයෙන් ඉවත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සහ බස්නායක  නිලමෙවරුන් හිතුවක්කාරී ලෙස පත් කිරීමද  මේ ආණ්ඩුවට එල්ලවී ඇති බරපතළ  චෝදනා බව  ඔහු පෙන්වා දෙන්නේය.

බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කර ඇතැයි  ආගමික සහ සංස්කෘතික  කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කර ඇති බවත් එසේ කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහමුලින්ම  පටහැනි ක්‍රියාවක් බවත්   ජයසේකර මහතා එම ලිපියේ සඳහන් කර ඇත

එසේම එය බෞද්ධාගමට එල්ල කළ මරු පහරක් බවද හෙතෙම සඳහන් කළේය

විහාර හා දේවාලගම් පනත බරපතළ  ලෙස උල්ලංඝනය කරමින්  පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් තමන්ගේ  හෙන්චයියන් බස්නායක නිලමේ පුටුවල වාඩි කරවීමෙන් අද පෙරහර පවා  කඩා වැටෙන තත්වයක් මතුව ඇතැයි එම ලිපියෙන්  කරුණු පෙන්වාදී ඇති  දයාසිරි ජයසේකර මහතා ආගම හා සංස්කෘතිය අමතක කර  කටයුතු කිරීමෙන් ඉතිහාසය  නොදත් ආගමට සංස්කෘතියට ගරු නොකරන ඔලමොට්ටල පිරිසක් බිහිවීම වැළැක්විය නොහැකි බවද ප්‍රකාශ කරයි.