දඹුලු විහාරයේ මූල්‍ය වංචා ගැන වාර්තා නැතිලු


ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරයේ අයවැය වාර්තා අනුව එහි මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවට කරුණු හෙළිනොවන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් පරාක්‍රම ජයවර්ධන මහතා “ලංකාදීප” යට  පැවැසීය. 

ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරයේ හිටපු භාරකාර ඉනාමළුවේ සුමංගල හිමියන් ධුර කාලය නිමාකරද්දී විහාරයට අයත් බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ 500 ක පමණ මුදලක් තැන්පත්ව තිබුණු නමුත් මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් තමාට ලැබී නැතැයි ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මෙම අදහස පළ කළේ විදේශ සංචාරකයන්ට ප්‍රවේශපත් විකිණීමෙන් රුපියල් කෝටි 700 කට අධික මුදලක් අවභාවිත කර ඇති බවට රංගිරි දඹුළු රාජමහා විහාරයේ හිටපු භාරකාර හිමියන්ට එහි වත්මන් විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියන් නඟන චෝදනාවන්ට පිළිතුරු වශයෙනි.