දඹුල්ලේ ඉඩම් කොල්ලයක්


(කාංචනකුමාර ආරියදාස)

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වාණිජ වටිනාකම්ක් ඇති සංවර්ධනය සඳහා රජයට පවරා ගත් ඉඩම් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබාදී එම ඉඩම්වල ඇති වටිනා ගස්කොළන් දේපල සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කරන බව  ප්‍රදේශවාසිහු පිරිසක් දඹුල්ල පොලිසියට පැමිණිලි කළහ.

ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් යටතේ 1980 දශකයේ මෙම පෞද්ගලික හිමිකම් කියූ ඉඩකඩම් රජයට පවරා ගෙන තිබෙන බවත් බොහෝ ඉඩකඩම් සඳහා මෙතෙක් වන්දි මුදලක් හෝ ලබා නොදී එම ඉඩම් භුක්ති විදිමින් සිටින හිමිකරුවන්ට නොදන්වා නාගරික සංවර්ධන අධිකාරිය විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් ලබාදී ඇතැයි ඉඩම් හිමියෝ පෙන්වා දෙති.

කිසිදු දැනුවත් කිරිමකින් තොරව රජයේ නිවාඩු දිනයන්හි පිටස්තර ව්‍යාපාරික ප්‍රජාව මැර කණ්ඩායම් සමග පැමිණ පැරණි ඉඩම් හිමිකරුවන් බියවද්දා එම ඉඩම්වල කම්බි වැටවල් සහ දේපොළ සියල්ල විනාශ කරමින් වටිනා කියන ගස්කොලන් සියල්ල කපා නාශ කරමින් සිටින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.