දඹදිව බෞද්ධ සිද්ධස්තාන වන්දනා මාන කිරීම සඳහා යාමට මින් ඉදිරියට කිසිම බියක් ඇති කර ගත යුතු නැතැයි කතානායක බිරිඳ චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පැවසුවාය. ඇය සංඝමිත්තා ශ‍්‍රද්ධාකර පදනමේ සභාපතිනියයි.
චන්ද්‍රා මහත්මිය එසේ පැවසුවේ බුද්ධගයාවේ බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනිමට ගොස් දිවයිනට පැමිණි අවස්ථාවේ දී ය. දකුණු පළාත් ආණ්ඩුකාරවරිය කුමාරි බාලසූරිය මහත්මියද, සංඝමිත්තා ශ‍්‍රද්ධාකර පදනමේ සම ලේකම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් රේනුකා නවගමුව මහත්මිය ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරිනියන් කිහිපදෙනෙකුද, සංගමිත්තා ශ‍්‍රද්ධාකර පදනමේ නිලධාරීනියන් අතුලූ සාමාජිකාවෝ 68 දෙනෙක් මෙම දඹදිව වන්දනා සංචාරය සඳහා එක්ව තිබිණි.
දඹදිව බුද්ධගයාවට පසු ගියදා එල්ල වූ ප‍්‍රහාරයෙන් අනතුරුව දඹදිව සිද්ධස්තාන වන්දනාමාන කිරීම සඳහා ගමන් ගන්නා ශ‍්‍රී ලාංකික බැතිමතුන්ගේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවධ කතා බහ ඇති විය.
එහෙත් පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පුජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියෝ ප‍්‍රමුඛ දූත පිරිසක් දඹදිව බලා වැඩම කිරීමෙන් අනතුරුව එහි යාමට ශ‍්‍රී ලාංකිකයන් තුළ තිබු බිය දුරු වී යළිත් එහි යාමේ ප‍්‍රවනතාවයක් ඇති බවත් ඇය කීවාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද‍්‍රා රාජපක්ෂ මහත්මිය
‘‘පහුගිය කාලය තුළ අපේ වන්දනා නඩ වලට මෙන්ම පොදුවේ ශ‍්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේදී සිදු වු විවිධ කරදර නිසා කාටත් විශාල බියක් හටගෙන තිබුනා දඹදිව යන්න.
අපිටත් අවශ්‍යතාවයක් තිබුනා ඇත්තටම මේ කියන දේවල් ඇත්තද කියා සොයා බැලීමටත්, වන්දනා මාන කිරිමට යන විට ලාංකික බැතිමතුන්ට තියෙන ගැටළු මොනවද, පහසුකම් මොනවද කියා සොයා බලන්නත්.
අපි කිසිම කරදරයක් නැතිව බුද්ධගයාවට ගියා. ඒ වගේම බුද්ධගයාවේ සිට කිසිම කරදරයක් නැතිව ඕනෑම බෞද්ධ සිද්ධස්ථානයකට යන්න පුළුවන්. බරණැස, ඉසිපතනාරාමය, මිගදාය, ගිච්ඡු කූට පර්වතය, සැවත් නුවර,විශාලා මහනුවර, රජ ගහ නුවර, කපිලවස්තු පුරය ඇතුළු සියළුම ස්ථානවලට අපි ගියා කිසිම කරදරයක් හෝ බිය වීමට කාරණාවත් එහි තිබුනේ නැහැ.
ඒ හැම බෞද්ධ සිද්ධාස්තානයකම වැඩකටයුතු ඉතා හොදින් සංවිධානය වී තිබුනා. අපේ ස්වාමීන් වහන්සේලා ඒ සිද්ධස්ථානවල වැඩ වාසය කරනවා. උන්වහන්සේලා ඉතාමත් හොඳින් සියළු කටයුතු එහි සංවිධානය කර තිබෙනවා‘‘.
ශ‍්‍රද්ධාකර පදනමේ සම ලේකම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් වරියක වන රේණුකා නවගමුව මහත්මිය මෙසේ කීවාය.
‘‘ඇත්තටම තමිල් නාඩු ප‍්‍රාන්තය හරහා ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකීය බොදු බැති මතුනට විඳින්නට සිදු වන විවධ හිරිහැර හා බාධා පිළිබඳව සැලකිල්ලට ගනිමින් තමයි මේ ගමන කෙලින්ම බුද්ධගයාවට ගියේ.
මේ ක‍්‍රමය වෙහෙසාකාරී නැහැ. දැන් මිහින් ලංකා ගුවන්සේවය බුද්ධයාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම තෙහෙට්ටුවක්, මහන්සියක් නැතුව මේ ගමන යන්න පුළුවන් වුනා. ඒ වගේම මහනායක හාමුදුරුවෝ පසුගිය කාලේ ගිහින් බැංගලෝරය හරහා බුද්ධගයාවට යන්න අළුත් ගමන් මාර්ගයක් සකස් කර දී තිබෙනවා.
අපේ ගමන සාර්ථක කරගන්න සියළු පහසුකම් ලබා දුන් මිහින් ලංකා ගුවන්සේවයට මා ගොඩක් ස්තුතිවන්ත වෙනවා‘‘.