කොළඹට තදාසන්න නගරයකින් දඹදිව වන්දනාවේ රැගෙන ගිය වන්දනා නඩ දෙකක් චෙන්නායි නුවරට රැගෙන ආ සංවිධායක සොයා ගැනීමට නැතැයි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමියන්ට එම වන්දනාකරුවෝ පැමිණිලි කළහ.
පසුගිය පළමුවැනිදා ඉන්දියාවට පැමිණි මේ පිරිස මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ වන්දනා ගමන අවසන්වී චෙන්නායි නුවර බලා එමින් සිටියදී ය.
රුපියල් 68000 සිට 72000 දක්වා එක් අයකු මුදල් ගෙවා ඇතත් ආහාර, නවාතැන් හා ප්‍රවාහන ඉතා අයහපත් බව වන්දනාකරුවෝ වැඩි දෙනෙක් කීහ.
ඔවුන්ගෙන් අයකරගත් මුදලට අමතරව සංවිධායක අග්‍රා නුවරදී අඩු ගණනේ වන්දනාකරුවන්ගේ වියදමට තුබූ ලංකා රුපියල් අට ලක්ෂයක් පමණ තිබී ඉන්දියා මුදල්වලට මාරු කර දිම සඳහා ලබා ගෙන ඇති බවත්, ඔහු හෝ මුදල් හෝ බදාදා (20) සවස්වන තුරු නොදුටු බවත් වන්දනාකරුවෝ මහාබෝධියේදී කීහ.
මාහාබෝධියට පැමිණෙන බව දන්වා ඇත්තේ කලින් දිනයේය. ඒ නිසා නවාතැන් දීමේදී සෑහෙන ප්‍රශ්නවලට මුහුණ පෑ බව කලවානේ මහානාම හිමි පැවසූහ.
එක් නඩයක සිටි දික්වැල්ල මාලියද්දේ එස් බී මැගිලින් නෝනා (77) මහත්මිය දුම්රියේදී අසනීප වී චෙන්නායි මහා රෝහලට ඇතුළු කළ බවත්, රෝහලට ගෙන යන විට ද ඇය මිය ගොස් සිටි බව වෛද්‍යවරු පැවසූ බවත් මහානාම හිමියෝ කීහ.
එකම සංවිධායක නම් සංවිධාන දෙකක නම්වලින් නඩ දෙක රැගෙන ආ බව පෙනේයැයි කලවානේ මහානාම හිමියෝ කීහ.
මහාබෝධියට මෙතරම් පිරිසක් රැගෙන ආ සංවිධායක අද මෙම ස්ථානයේදී හමු නොවූ බවත්, සාමාන්‍යයෙන් නඩ රැගෙන එන සංවිධායකවරුන් තමන් හමුවන බවත් කියන මාහානාම හිමියෝ වන්දනාකරුවන් කියන විස්තර සැබෑනම් මේ සංවිධායකයා මීට කලින් ද වන්දනාකරුවන් අතරමං කළ බව පේනේයැයි ද කීහ.
කෑගල්ලේ සිට දඹදිව වන්දනාවේ ගිය හේමලතා මහත්මිය දුරකතනයෙන් ලංකාදීප සමග මෙසේ කීවාය.
‘වන්දනා ගමනට මගෙන් රුපියල් 72000ක් විතර ගත්තා. වන්දනාව අතරතුරදි මගේ කකුලේ ආබාධයක් ඇතිවුණා. ඊට පස්සේ පුතා රුපියල් 70,000ක් එව්වා. ඒ සල්ලි ප්‍රධාන සංවිධායක ගත්තා. දැන් එයා ආගිය අතක් නෑ.‘
මේ එක් නඩයක සංවිධායකවරියක බව කියන කාන්තාවක මෙසේ පැසුවාය.
‘අපේ නඩේ කිසිම ගැටළුවක් නෑ. අම්ම කෙනෙක් නැතිවුණා තමයි. ඒක හදිසියේ වෙච්ච දෙයක්. අපි නඩ දෙකක් විදියට ආවේ.එක නඩයක් විදියට නෙමේ. ඒත් නඩ දෙකම එකට ගියේ. අනිකේ සංවිධායකයා මගේ ඥාති සහෝදරයෙක්. එයා අතරමගදි කොහේ ගියාද දන්නේ නෑ. එයාට කරදරයක් වෙලාද දන්නේ නෑ.‘
අනෙක් නඩයේ වන්දනා ආයතනයේ පුද්ගලයෙක් මෙසේ පැවසූහ.
‘අපේ නඩේ කිසිම ගැටළුවක් නෑ. සංවිධායක සංල්ලි අරගෙන ගියාද නැද්ද අපි දන්නේ නෑ. එයා දැන් කොහේ ඉන්නවාද දන්නෙත් නෑ. අපිට කිව්වෙත් නෑ. අපි වන්දනාකරුවො ගැන බලා ගන්නවා. ගැටලුවක් නෑ.‘
මහාබෝධි විහාරාධිකාරී කලවානේ මාහානාම හිමියන් පැවසුවේ මේ පිරිස විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ කිසිදු ගැටළුවකින් තොරව ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කරන බවයි.
මියගිය මැගිලින් නෝනා මහත්මියගේ දේහය සම්බන්ධයෙන් සියලු වැඩ අවසන් කර බ්‍රහස්පතින්දා (21) දේහය දිවයිනට එවීම කටයුතු කර බව මාහානාම හිමියෝ පවැසූහ.
මියගිය මැගිලින්නෝනාගේ බෑණනුවන් කෙනකු වන මුණිදාස පරණගේ මහතා මෙසේ පැවසීය.
‘අම්මා දෙවැනි වතාවට තමයි මේ දඹදිව ගියේ. යද්දි කියන්න තරම් අසනිපයක් තිබුණේ නෑ. ගියාට පස්සෙක් කිහිප සැරයක් කතා කළා. එක් අවස්ථාවකදී උගුරේ ආබාධයක් ඇති වෙලා බෙහෙත් ගත්තා කිව්වා. කොළඹ පැත්තේ සංවිධායක වරියක් එක්ක තමයි අම්මා ගියේ. අන්තිම දවස් දෙකේ නම් කතා කලේ නෑ. අම්මා නැතිවුණා කියලා කිව්වේ වන්දනා නඩේ හිටපු වෙන කෙනෙක්. ‘
මේ අතර චෙන්නායි මහාබෝධියේ ආරක්ෂාව තර කැර තිබේ. දුම්රියපලේ සිට චෙන්නායි මහබෝධියටත් චෙන්නායි මහබෝධියේ සිට ගුවන් තොටුපළටත් යන එන සියලුම වන්දනා කණ්ඩායම් සමග පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද යන බව මහානාම හිමියෝ කියති.
‘ආවට ගියාට වන්දනාවෙ එන්න එපා. සංවිධායකවරු ගැන හොදට සොයා බලන්න.‘ යැයි ද ඒ හිමියෝ කීහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)