දම්පල් ගුණ ලන්ඩන් දරුවන්ට කියාදෙයි


ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ වාර්ෂික සහතික පත් සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය ඉරුදින විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ රාහුල දහම් පාසලේ ප්‍රධානාචාර්ය   තවලම බන්දුල හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වූ  උත්සවයේ තේමාව වුයේ ‘අනගාරික ධර්මපාල තුමන්ගෙන් බුදුසසුනේ පුනර්ජීවය උදෙසා සිදුවූ උදාර සේවාව‘ සාකච්ඡා කිරීමයි.

දහම් පාසලේ සියලුම සිසු සිසුවිය සහභාගී කරගෙන ධර්මපාල තුමන්ගේ ජිවිතයේ වැදගත් සිද්ධී නිරුපණය කළ වේදිකා නාට්‍යයක් ද රඟ දැක්විණි. ඒ මඟින් එතුමන් බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහාත්, බටහිරට ථේර වාද බුදු දහම හඳුන්වා දීම සඳහාත් ඉන්දියාවේ බුදුන් වහන්සේ වැඩසිටි පුණ්‍ය භූමින් ආරක්ෂා කිරීම සඳහාත් ගෙනගිය විශාල වැඩපිළිවෙල සහ එහි වැදගත්කම වටහාදීමට එම දරුවෝ උත්සාහ කළහ.

ලන්ඩන් බෞද්ධ විහාරය 1926 දී ආරම්භ කරන ලද්දේද ධර්මපාල තුමන් විසිනි. මේ වසරේ එතුමන්ගේ 150 වෙනි ජන්ම දිනය සැමරීම සඳහා සතියක වැඩසටහනක් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් පැවැත්වීමට කටයුතු කරගෙන යනු ලබයි.

උත්සවයේ වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා අනෙක විධ අයුරින් උදව් උපකාර කල දහම් පාසල් දරුදැරියන් සහ ඔවුනගේ දෙමාපියන්ටත් දායක සභාවේ සියලු දෙනාටත්, විහාරවාසී සියලුම සංඝයා වහන්සේටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුති වන්ත වන බව පුජ්‍ය බන්දුල හිමියෝ පැවසුහ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා මහත්වරු ද  උත්සවයට ආහ.