දඩ මස් සමඟ යුවළක් දැලේ


(නිමල් ජයරත්න)

පොලොන්නරුව මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ ගෝන මස් කිලෝ සියයක් ශීතකරනවල සඟවාගෙන විකිණීමට සූදානම් කරමින් සිටී ප්‍රසිද්ධ මස් වෙලෙන්දෙක් සහ ඔහුගේ බිරිඳ  අද(16)  සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි  වැටලීම් ඒකකය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් යුවළ අවුරුදු 42 සහ 44 වයසේ පසුවන්නන් වන අතර එම දෙදෙනා වසර විස්සකට අධික කාලයක් ඌරු කොටුවක් පවත්වාගෙන යන රත්මලේ ප්‍රදේශ්යේ ප්‍රසිද්ධ මස් ව්‍යාපාරිකයකු බවද පරීක්ෂණ  සිදුකරන පොලොන්නරුව වැටලීම්  අංශයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ගෝන මස් ගෝනුන් දෙදෙනෙකුගේ මස් විය හැකි බවත්, මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සැරිසරණ ගෝනුන් මරා දඩයක්කරුවන් විසින් මෙම මස් උත්සව සමයේ වැඩිමිලට විකිණීම සඳහා මෙම සැකකාර යුවලට ලබාදී ඇති බවට පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර යුවල  අද (16 )හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජීවී වැටලීම් අංශයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය,