
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දකුණු පළාතේ ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරු දස දෙනෙක් එම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවනු ලැබ සිටිති.
දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල( බෙන්තොට හැර) නිල කාලය අවසන්වීමත් සමග ඒ ආයතනවල පාලනය පෙරේදා(19) මධ්‍යම රාත්‍රියේ සිට පවතින්නේ නාගරික කොමසාරිස් වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතේය.
මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව පළාත් රාජ්‍ය සේවා කොමිසම මෙම මාරු කිරීම් කළ බවයි.
මාරු කර යැවුණු නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් වැඩබලන පදනම යටතේ සිටි අය බවත් කළමනාකරණ සේවා අධි ශ්‍රේණියේ ස්ථිර නිලධාරීන් දස දෙනකු පත් කිරීම සඳහා මෙම ස්ථානමාරුවීම් කළ බවත් ඔහු සඳහන් කළේය.
නව නිලධාරීන් දසදෙනා පත් කෙරෙන්නේ විශේෂ පුහුණුවකින් පසුව බවද දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා කීවේය.
මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් ( නීති) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් කරන බවයි.
මේ සම්බන්ධයෙන් අප පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ දුරට මෙය දේශපාලන හේතු මත කළ මාරු වීමක් විය හැකි බවයි.
සාධාරණ හේතු තිබුණද මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති සහ නගර සභා ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ට බලය පැවරී ඇති අවස්ථාවක මෙසේ මාරු කිරීම් කිරීම නොකළ යුතු දෙයක් බව පැවසූ හෙට්ටිආරච්චි මහතා මෙමගින් වැරදි පණිවුඩයක් සමාජගත විය හැකි බවද සඳහන් කළේය.

