දකුණට ගාල්ලෙන් අලුත් මුහුණු හයක්


 

 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාවට හිටපු මන්ත්‍රීවරු හත් දෙනකු පරාජය ලබා නවක මන්ත්‍රීවරු හය දෙනකු එක්ව සිටිති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ගා.දේනෙත්ති, අජිත් ප්‍රසන්න, ටී.ඩී.එස්.එල්.ජයවීර, විජිත කුමාර විජේනායක, ජේ.කේ.ඩී.ජයවික්‍රම හා කේ.පී.ජී.සිසිර කුමාරරත්න ‍මෙවර පළාත් සභාවට තේරීපත් වී නැත. 2009 පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභාව තේරීපත්ව සිටි ආනන්ද පද්මසිරි කාරියවසම් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ලට තරග වැදුණ ද පරාජයට පත්වූයේය. ගාල්ලේ පළාත් මන්ත්‍රීවරියක ව සිටි අනර්කලී ආකර්ශා මෙනවිය  මෙවර මාතරින් තරග වැදී පරාජයට පත්වූවාය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති චානක සම්පත් මාදුගොඩ, බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා සමන්මලී කුමාරසිංහ, හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුතු ඉසුරු දොඩංගොඩ, රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආරියවංශ සම්මු නවකයන් ලෙස පළාත් සභාවට තේරීපත්ව සිටිති. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව රජයට එක්වූ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් සභාවට පත්ව සිටියි. ඔහු නවකයකු නොවූව ද රජයට නවකයෙකි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කරමින් ගාල්ලෙන් ජය ලැබූ අමරසිරි කුරුවගේ සහ පද්මසිරි සිල්වා දෙදෙනා ම පළාත් සභාවට නවකයෝ වෙති. පසුගි පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් සිටිය ද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර රජයට එක්වී තරග කළ අතර මෛත්‍රී ගුණරත්න තරග කළේ නැත. මෙවර මැතිවරණයෙනුත් එක්සත් ජාතික පක්ෂයේ හය දෙනෙක් පළාත් සභාවට තේරී ඇතත් හිටපු හතර දෙනාට අමතරව තේරීපත් වූ දෙදෙනා ද මීට පෙර පළාත් සභාව නියෝජනය කැර ඇත.