දක්ෂිණ අධිවේගයට මැරයෝ පනිති : පොලිසිය නොදනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව ආසන්නයේදී 2016 ජනවාරි 26 අලුයම 2.25ට පමණ තමා ගමන් කළ මෝටර් රථයට හා තවත් වාහන රැසකට කඩාකප්පල්කාරී පිරිසක් මාර්ගයේ මැදට පැමිණ එල්ල කළ ගල් ප්‍රහාර නිසා තම රියේ ඉදිරිපස වීදුරුව කැඩී ඇති බව නිරෝෂන් ප්‍රියදර්ශන වික්‍රමාරච්චි මහතා ලංකාදීප එසැණ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

මෙවන් ක්‍රියා සිදුකරන්නන්ට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු විමසයි. අධිවේගී මාර්ගයේ ගමන්කරන වාහන හා අපගේ ජීවිත සඳහා ආරක්ෂාවක් නැතිද? මෙලෙස ඕනෑම මිනිසකුට ඒ පාරේ සිටිය හැකිද? මෙවන්ක්‍රියා සඳහා ඉඩ ඇතිනම් තව නොබෝ දිනකින් හොරුන් මංකොල්ලකාරයන් ද මාර්ගයේ සැරිසැරීමට ඉඩ ඇතැයි ඔහු මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි සිද්ධියක් වී ඇති බවත් ගල් ගැසූ අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත්ය. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය පැවසූයේ තමන් එවැනි සිද්ධියක් නොදන්නා බවයි. ආරක්ෂක කැමරා පොලිසිය සතුව නැති බවත් ඒ ගැන මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසිය යුතු බවත් පොලිසිය පවසයි. එහි ප්‍රකාශකයකු පැවසූයේ ආරක්ෂිත කැමරා නැති ප්‍රදේශයකදී මේ ප්‍රහාරය සිදුවී ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසූයේ එවැනි සිද්ධියක් වී ඇති බවයි. කිලෝ මීටර් 21 - 22 කණු අතර දී කොළඹ බලා එමින් තිබූ වාහන හත අටකටම ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මෙම ප්‍රහාරවලින් වාහනවල සිටි අයට තුවාල වූයේ දැයි දැනගන්නට නැත. අලාබ හානි වූ වාහනවලට රක්ෂණ වන්දි ලබාගැනීමේ ලියවිලි නිකුත් කළ බවත් ඔහු පවසයි. ආරක්ෂක කැමරා නැති ප්‍රදේශයකදී වැටෙන් පැන මේ පිරිස අධිවේගී මාර්ගයට පැමිණ ඇතැයිද දකුණු කළුතර පොලිසිය සමග තවත් පොලිසි කිහිපයක් පරීක්ෂණ අරඹා ඇතැයිද ඔහු පවසයි.

සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි ඔහු පවසයි.

ගැලනිගම හරියේදී අධිවේගී මාර්ගය ආක්‍රමණය කළ කලිසම් ඇඳ සිටි බව පෙනුණු හතර පස් දෙනකු මිනිත්තු 10ක පමණ වාහනවලට ගල් ගැසූ බවත් රියේ කුඩා දරුවකුද සිටි නිසා වඩාත් බියට පත්වූ බවත් එම සිද්ධියට මුහුණ පෑ වික්‍රමාරච්චි මහතා ලංකාදීපයට පැවසීය.

‘මම හිතුවේ පාර මාරුවන පිරිසක් කියලා. වාහනයේ වේගය අඩු කළා. ගල් ප්‍රහාර අප දෙසට එල්ල කළා. එතැන පෝලිමට පැමිණි තවත් වාහන කිහිපයකටම ගල් ප්‍රහාර එල්ල වුණා. අපි මේ ගැන අධිවේගී පොලිසියට පැමිණිලි කළා. මගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි වුණා. රුපියල් 15,000ක් පමණ යනවා නැවත වීදුරුවක් දාන්න. අනෙක් වාහනවලත් ඉදිරිපස වීදුරුවට හානි සිදුවුණා‘

12631516_13201612728_4531319790594562123_n