දංකොටුවේ ව්‍යාපාරිකයා ඇතුළු පහක් සැකපිට


දංකොටුවේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට දංකොටුවේ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනෙක් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දංකොටුව බුජ්ජම්පොළ ඉරබඩගම ප්‍රදේශයේ කොස්හේන මාර්ගයේ ගිනි ගත් රියේ මියගිය පිරිස අතර වෑන් රථය අයත් කල්බදු සමාගමේ රියදුරකු වන ‘නේවි කපිල‘ නොහොත් පන්නල මාකඳුරේ කපිල බණ්ඩාර හා මාකඳුරේ දෙයියා ද තවත් පුද්ගලයකු ද මියගිය පිරිස අතර සිටිතියි පොලිස් අරංචි කියයි.

ඉන් සිව් දෙනෙක්ම එම ව්‍යාපාරිකයා ළඟ සේවය කළ අය බව කියති. වෑන් රථයේ දී මිය ගිය අය ලෙස නේවි කපිල, පෑලියගොඩ නීල්, කටානේ ක්‍රිෂාන්ත සූප්පුවා සිටි බවට පොලිසිය සැක කරයි.

ව්‍යාපාරිකයාගෙන් මාස්පතා කප්පම් කෑ පිරිසක් සිටි බවද සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා (28) මාරවිල පොලිසියට බාර වීමෙන් පසු වැදගත් තොරතුරු රැසක් ම සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත. කොන්ත්‍රාත්කරුවකු ද බව කියන ව්‍යාපාරිකයාගෙන් රුපියල් 40,000 ක කප්පමක් මාස්පතා මාස හයකට වැඩි කාලයක් ලබාගෙන ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

යකඩ පොලු පහරින් මැරුම් කෑ බව කියන පස් දෙනා මරණයට පැයකට දෙකකට පමණ පෙර මත්පැන් සාදයකට හවුල්කරවා ගත් අයකුගේ තොරතුරු ද පොලිසියට ලැබී ඇත. මුලින්ම මැරුම් කන්නට ඇත්තේ වෑන් රියදුරා බවත් ඒ අවස්ථාවේ වෑන් රියේ කැසට් යන්ත්‍රය උපරිම හඬින් වාදනය වූ බවත් කියති. සියලු සිරුරු ගිනි තැබීමට පෙට්‍රල් දමන්නට ඇතැයිද කියති.

රහස් පරීක්ෂක කණ්ඩායම් හයක් මේ සම්න්ධයෙන් පරීක්ෂණ පවත්වයි.        

මෙය  ගම්පහ ප්‍රදේශයේ පස් කැපීමේ ජාවාරමක් සිදුවීමකට සම්බන්ධ බවට සැකයක් තිබුණත් ඒ හා සම්බන්ධ වැඩිදුර තොරතුරු කිසිවක් නැතැයි පොලිස් නිලධාරියෙක් පවසයි.

නේවි කපිලට විරුද්ධව නඩු හයක් පවතින බවත් පන්නල පොලිසියේ ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ දෙකක් සම්බන්ධ පැමිණිලි තිබෙන බවත් පොලිසිය පවසයි.    

දැඩි ලෙස පිළිස්සු තිබු සිරුරු මේ වන විට මීගමුව මහ රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇති අතර මළ සිරුරු කිසිවෙක් හඳුනා නොගැනීම නිසා සඳදා (14) පශ්චාත් මරණ පරික්ෂණය පැවත්වීමට නියමිත බව මීගමු රෝහල් අරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඝාතනය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බව පොලිසිය සැක කරයි.

van_201631368