තොරතුරු තාක්ෂණයෙහි බුද්ධිමය දේපල රැකගැනීමට උපකාරක මධ්‍යස්ථානයක්


 

(බිඟුන් මේනක ගමගේ )

තොරතුරු හා තාක්ෂණ ක්‍ෂේත්‍රයෙහි නවෝත්පාදන ක්‍රියාකාරකම්වල බුද්ධිමය දේපල අයිතිය තහවුරු කරදීමට සහාය වීමේ අරමුණෙන් උපකාරක මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පිහිටුවා ඇත.

තොරතුරු තාක්ෂණ විෂයෙහි විශේෂඥයන් හය දෙනෙකුගෙන් සමන්විත වන සේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ හා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ උපදේශකත්වයෙනි.

පරිගණක වැඩසටහන්, පරිගණක මෘදුකාංග, පරිගණක ක්‍රීඩා ඇතුලු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍ෂේත්‍රයට අයත් නවෝත්පාදනවලට මෙමගින් උපදේශනය ලැබෙන බවත් නව නිපැයුම්කරුවන් හා ව්‍යවසායකයන් දිරිමත් කිරීමට මෙමගින් විශාල සහයක් ලැබෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි දමිත් හෙට්ටිහේවා මහතා පවසයි.

www.nipo.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ [email protected] විද්‍යුත් ලිපිනයෙන් විමසීමෙන් මේ ගැන වැඩිදුර විස්තර දැනගතහැකිය.