තොරතුරු කොමිසමට ලක්ෂ 760 ක්


(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා මාස කිහිපයක් තිස්සේ  වැඩ ආරම්භ කිරීමට නොහැකි වූ  තොරතුරු දැනගැනීමේ කොමිසම වෙනුවෙන් භාණ්ඩාගාරය  ඊයේ (07) රුපියල් ලක්ෂ 760 ක් ලබා දුන් කළ බව එහි ආරංචි මාර්ග කියයි.

තොරතුරු කොමිසමේ නිලධාරීන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව එම කොමිසම දැඩි අර්බුදයකට මුහුණපා සිටි බවත්, මෙම මුදල් ලැබීමත් සමග එහි වැඩ හෙට (08) සිට සක්‍රීය කරන බවත් එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති තොරතුරු කොමිසමේ කාර්යාලයයේ කටයුතු සඳහා නිලධාරීන් 15 දෙනකු අවශ්‍යව තිබුණද පසුගිය සතිය වන විටත් එහි සිටියේ නිලධාරීන් 8 දෙනකු පමණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තොරතුරු දැන ගැනීමේ පනත අනුව මේ වන විට රජයේ ආයතනවල තොරතුරු නිලධාරීහු 1800 ක් පත් කරනු ලැබ සිටිති. උසස් අධ්‍යාපන අමාත්‍යංශය හැර සෙසු සියලු අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන්ගේ නාම ලේඛණය ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත එවා ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.