පසුගිය ජනපතිවරණ සමයේ පසුගිය රජය උඩරට වතු කම්කරුවනට බෙදා දීම සඳහා තොණ්ඩමන් පදනමට දුන් රුපියල් තුන් කෝටියක භාණ්ඩ බෙදා හැරීම තහනම් කරමින් හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නිකුත් කළ වාරණය ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුම්ගම් මහතා එම ක්‍රීඩාංගනයෙන් අද (17) පිට වී ගියේය.
උසාවි නියෝගයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි නීති අංශ කියයි.
එම භාණ්ඩ බෙදා හැරීම නවත්වන ලෙස පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිසිය කළින් පැවැත්වූ පරීක්ෂණයෙන් පසුව එම භාණ්ඩ තොන්ඩමන් මහතාට යළි බාර දෙන ලෙස හැටන් මහේස්ත්‍රාත් අයි පී බී ලියනගේ මහතා නියෝග කර තිබිණි.
ඒ අනුව තොන්ඩමන් මහතාට භාර දුන් එම භාණ්ඩ නෝවුඩ් තොන්ඩමන් ක්‍රීඩාංගනයේ දී අද (17) බෙදා දෙමින් සිටිය දී පොලිසිය තවත් අධිකරණ නියෝගයක් රැගෙන එහි ආවේය.
තොණ්ඩමන් මහතා එම නියෝගය ප්‍රතික්ෂේප කර ක්‍රීඩාංගනයෙන් පිටව ගියේය.
ඒ වන විට භාණ්ඩ රැසක් බෙදා දී තිබිණි.
එම භාණ්ඩ අතර ශබ්ත විකාශන යන්ත්‍ර, පුටු, සෙවිලි තහඩු, වැඩි කූඩාරම්, ඉවුම් පිහුම් භාජනය විය.
තේවතු 203කට, ගම් 47කට හා තොණ්ඩමන් පදනමේ ප්‍රජා ශක්ති ව්‍යාපෘති 44කට මෙම භාණ්ඩ බෙදා දීමට නියමිතව තිබිණි.
නොබෙදූ භාණ්ඩ රැගෙන යෑම වැළැක්වීම සඳහා ක්‍රීඩාංගනයේ දොරටු වසා දැඩි ආරක්ෂාව යෙදූ පොලිසිය නෝවුඩ් නගරයේ ආරක්ෂාව ද තර කළේය.
පොලිසිය දෙවැනි අධිකරණ නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයට පවසා ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ අලුතින් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා භාණ්ඩ බෙදා හැරීම නතර කිරීමේ වාරණයක් නිකුත් කරන ලෙසයි.

