තොටළඟ විරෝධය අවසන්


තොටළඟ ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන් අරඹා තිබූ උද්ඝෝෂණය මේ වන විට අවසන් කර ඇතැයි පොලිසිය පවසයි.

පෑලියගොඩ ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම හරස් කරමින් රථවාහන ගමනාගමනයට බාධා ඇතිවන අයුරින් අඟහරුවාදා සවස සිට විරෝධතාකරුවෝ එහි රැඳී සිටියහ.

ෆර්ගසන් පාර අසල අනවසර පදිංචිකරුවන්ගේ නිවාස රජය විසින් කඩා දමනු ලැබීම හේතුවෙන් ඊට විරෝධය පා අඟහරුවාදා උද්ඝෝෂණය ආරම්භ කැරිණි. එදින සවස පිරිසක් පැමිණ විරෝධතාකරුවන් පළවා හැරියද නැවත රාත්‍රී කාලයේ ඔවුහු එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

අද (17) පෙරවරුව වනතෙක් ඔවුහු පාලම හා අවට මාර්ග හරස් කරමින් විරෝධතාවයේ යෙදුණු අතර කැලණිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා එහි පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර උද්ඝෝෂණය අවසන් කළ බව පොලිසිය කියයි.