තෙල් පොල්ල කෝටි විසිතුන්දහස පනී


(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා කාලය තුළ ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ.

ඉන් වැඩිම මුදලක් අය විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වන අතර, එම මුදල රුපියල් කෝටි 9,781ක් පමණ වන බවද එම වාර්තා පෙන්වා දෙයි.

විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ හා පෞද්ගලික විදුලි බලාගාරවලින් අය විය යුතු සමස්ත මුදල රුපියල් කෝටි 12,807ක් වන අතර ,විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් කෝටි 8,608ක් පමණ අය විය යුතු ව ඇතැයි දැනගන්නට ඇත.

වෙස්ට් කෝස්ට් සමාගමෙන් රුපියල් කෝටි 499 ක් ද,ඒසියා පවර් සමාගමෙන් රුපියල් කෝටි 23ක් ද නොදර්න් පවර් සමාගමෙන් රුපියල් කෝටි 4 ක් පමණ ද අය වී ඇතැයි සඳහන් වේ.

මේ අතර , දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 326ක් ද, මගනැගුමෙන් රුපියල් කෝටි නවයක් ද, ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් කෝටි හතලිස් හතක් පමණ ද,අය විය යුතුව ඇතැයි පෙන්ව දෙයි.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රුපියල් කෝටි 227ක්, යුද හමුදාවෙන් රුපියල් කෝටි 70ක්, ගුවන් හමුදාවෙන් රුපියල් කෝටි හතළිස් තුනක්, පොලිසියෙන් රුපියල් කෝටි හයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය විය යුතුව ඇත.