ඛනිජ තෙල් මිළ අඩු කළද එහි ප්‍රතිලාභ ජනතාවට මේ වන තෙක් හිමිවී නැති බවත් ඛනිජ තෙල් සහ ගෑස් පාවිච්චිය ඉතා නාස්තිකාරී ලෙස වැඩිවී ඇති බව පමණක් පැහැදලිව පෙණෙන බැවින් රටට බල ශක්ති සංරක්ෂණ සහ නව බල ශක්ති ප්‍රභවයන් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බැවින් එය බාලදක්ෂ පුහුණුවේ කොටසක් බවට පත්කර බාලදක්ෂයින් එහි නියමුවන් බවට පත් කරන ලෙස බාලදක්ෂ කොමසාරිස්වරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ හේනේගම මධ්‍ය මහ විදුහලේ පැවති 'සියනෑ ජම්බරේට් 2015' ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ ජම්බෝරියේ සම්මාන ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි.
පාසැල් 33 ක් බාල දක්ෂයින් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් දින හතරක් පුරා දැනුම, විනෝදය සහ ත්‍රාසජනක ක්‍රිියාකාරකම් සමගින් පැවති මෙම බාලදක්ෂ ජම්බෝරියේදී විශේෂ දක්ෂතා දැක්වු බාලදක්ෂ කණ්්ඩායම් සඳහා අමාත්‍යවරයා මෙහිදි සම්මාන ප්‍රදානය කළේය.
සමස්ථ කඳවුරු භූමියෙන් හොඳම කඳවුරු දොරටුවට හිමි සම්මානය සහ කඳවුරු භූමිය ක්‍රමවත් බව හා පිරිසිදුව තබා ගැනීමට හිමි සම්මාන දෙකම ගලහිටියාව මධ්‍ය මහ විදුහලේ බාල දක්ෂයෝ හිමිකර ගැනීමට සමත් වු අතර කඳවුරු විනය හා මනා පැවැත්මට හිමි සම්මානය ගම්පහ සුමේධ විදුහල හිමිකර ගැනිමට සමත් විය. හොඳම ගිනිමැල ජවනිකාවට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුයේ උඩුගම්පල ශාන්ත පීතර විදුහලයි.
මීට අමතරව බාලදක්ෂ ජම්බෝරියේ කඳවුරු බැඳ සිටි සියළු පාසැල් රතු ඉන්දියානු, සුළු හා අශාන්ති උප කඳවුරු යන ඛාන්ඩ වලට ඛෙදා සම්මාන පිරිනැමීම සිදු කෙරිනි.
එහිදී හොඳම හුරු බුහුටි බාලදක්ෂ කණ්ඩායම් අතර ප්‍රථම ස්ථාන හේනේගම මධ්‍ය මහා විදුහල, මීරිගම ඩඩිලි සේනානායක විදුහල සහ ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසැල හිමිකර ගත් අතර හොඳම නිර්මාණාත්මත හා ශිල්පීය කාලීන උපකරණ භාවිතය පිළිබඳ ප්‍රථම ස්ථාන දෙකටන පත්මාවතී විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ ගලහිටියාව මධ්‍ය මහා විදුහල හිමි කර ගැනීමට සමත් විය. හොඳම කඳවුරු කළමනාකරණයට හිමි ප්‍රථම ස්ථාන ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල, නිට්ටඹුව සංඝබෝධි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක යන විදුහල් හිමිකරගත්හ.
මෙහිදී බාලදක්ෂයින් ඇමතූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
''ඛනිජ තෙල් මිළ අඩු කළාම අපි බලාපොරොත්තු උනා ඒ සහනය ජනතාවට අවශ්‍ය විවිධ දේවල් වලට යහපත් අයුරින් පාවිච්චි කරයි කියා. නමුත් දැන් අපිට ලැඛෙන තොරතුරුවලට අනුව තෙල් පාවිච්චිය ගොඩක් වැඩි වී තිඛෙනවා. මෙයින් පෙනී යන්නේ ඇතැම් පුද්ගලයින් තෙල් නාස්තිකාර විදිහට පාවිච්චි කරණ බවයි. මේ නාස්තිකාර පුරුදු නැති කර විදුලිය, තෙල්, ගෑස් විදිමත් අයුරින් පාවිච්චි කරන්න හුරු පුරුදු ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
වසර 2002 දි මා විදුලි බල ශක්ති ඇමති වෙලා ඉන්නකොට ලොකු නියගයක් ඇති උනා. ඒ අවස්ථාවේදි අපේ ජල විදුලි බලාගාර සේරම අඩපන උනා. ඒ වෙලාවෙදි අපි අතීතයේ කළා වගේ ජාවාරම්කාරයෝ එකතු කරගෙන හදිසියේ විදුලිය ගන්න ගියේ නැහැ. අපි පාසැල් දරුවෝ එකතුකරගෙන බල ශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියක් සකස් කළා. බාලදක්ෂ ව්‍යාපාරයේ දරුවෝ තමයි ඒ වෙලවෙදි අපිට ගොඩක් දායක උනේ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයෙදි බාලදක්ෂ ව්‍යාපාරය බල ශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට යොදාගන්න.
විශේෂයෙන්ම අපේ දු දරුවෝ මේ සංරක්ෂණයට හුරු විය යුතුයි. අපේ විදුලිය, ප්‍රවාහනය මේ සියල්ල සිදුවන්නේ තෙල්, ගෑස්, ගල අගුරුවලින්. මේ තෙල්,ගෑස්, ගල් අගුරු ඔබේ ජීවිත කාලය තුලදී ලෝකයෙන් අහිමි වී යාමට නියමිතයි.
ඒ නිසා අපේ දු දරුවෝ බල ශක්ති සංසරක්ෂනයට වගේම නව බලශක්ති ප්‍රභවයන් වලට හුරු විය යුතු කාලය එළඹී තිඛෙනවා. මේ දරුවෝ තමන්ගේ අනාගතය සඳහා බල ශක්ති සංරක්ෂණයට සහ නව බල ශක්ති ප්‍රභවයන් භාවිතා කිරිම ගැන රටට නියමුවන් බවට පත්වෙන්නට හැකියාව තියෙන පිරිසක්. එය බාලදක්ෂ පුහුණුවේ කොටසත් බවට පත් කරණ ලෙස අපි බාලදක්ෂ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය අවරුදු 100 කට එහා ගිය ව්‍යාපාරයක්. මෙය බටහිර ලෝකයට අළුත් අත් දැකීමක් උනාට අපේ රටේ ඉතිහාසය අනුව එය අපිට අළුත් දෙයක් නෙමෙයි. අපේ ජාතක කතා පොතේ තියෙනවා මඝ මානවක ජාතකය. මඝ මානවක කුමාරයා තමන්ගේ මිතුරන් එකතුකරගෙන ඒ කාලේ හැටියට පරාර්ථකාමී චර්යාවෙන් යුතු බාල දක්ෂ ව්‍යාපාරයක් හැදුවා. එමගින් ප්‍රදේශය පිරිසිදු කිරීම්, ජල පහසුකම් සැපයීම්, කැලි කසල ඉවත් කිරීම්, ගස් කොලන් හිටවීම, විල් පවිත්‍ර කිරීම වගේ සමාජ සේවා කටයුතු නිර්මාණශීලීව මඝ මානවක පරපුර කරගෙන ගියා. එයට සමාන ව්‍යාපාරයක් තමයි බේඩන් පවල් සාමිවරයා ඇති කළේ.
ඒ් නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුළින් නුතන සමාජයට ගැලපෙන ලෙස යහපත් අයුරින් තමන්ගේ මෙන්ම අන් අයගේ ජීවිත හැඩගස්වා ගැනීමටත්, අභියෝග ජයගැනීමටත්, එදිනෙදා දෛනික ජීවිතයේදී ඇති වන ප්‍රශ්ණ වලට සරල විසඳුම් ලබාගැනීමට මනස හුරුවෙනවා, සාමුහිකත්වය ප්‍රගුණ කරනවා. බාලදක්ෂ ව්‍යාපාරය මහත්වු නිහඩ සේවයක් අපේ රටට සිදුවෙන බව ආඩම්බරයෙන් කියන්න පුලූවන්.''
ත්‍යාග ප්‍රධානෝත්සවය අවසානයේදී 'සියනෑ ජම්බරේට් 2015' කඳවුරු ප්‍රධාන සංවිධායක ප්‍රභාත් රත්නායක මහතා විසින් දිසා බාලදක්ෂ ධජය හකුලා ගම්පහ දිසා බාලදක්ෂ කොමසාරිස් ගාමිණී ගුණසේකර මහතාට බාරදුන් අතර දිසා කොමසාරිස්වරයා එම ධජය ලබන 2016 වසරේ ගම්පහ කලාපයේ බාලදක්ෂ ජම්බෝරිය සංවිධානය කිරීම සඳහා ගම්පහ සහය දිසා කොමසාරිස් දර්ශණ සෙනවිරත්න මහතාට බාර දුන්නේය.
මෙම අවස්ථාවට පිලිගුත්තුව රජ මහා විහාරය යාගොඩ නන්දාරාම උභව විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමි, විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ගම්පහ දිස්ත්‍රික් බාල දක්ෂ කොමසාරිස් ගාමිණී ගුණසේකර, විධායක සභාවේ සභාපති හේනේගම මධ්‍ය මහා විදුහලේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න, මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක උපාලි කරුණාරත්ව යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් නිලධාරීහු රැසක් සහභාගී වුහ.











