තුන්වැනි මහලෙන් බිමට වැටී ධීවරයා මරුට


(රේඛා තරංගනී ෆොන්සේකා) 

මොරටුව, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් බිමට වැටී පුද්ගලයකු අද (03) අලුයම මියගොස් ඇතැයි අඟුලාන පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි (24) රසික සම්පත් මාටින් නමැති  ධීවරයෙකි.

ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ සයවැනි මහලේ පවතින මළගෙදරකට යාමට පිටත් ව ඇතැයි පොලිසිය පැවසීය.

රාත්‍රියේ නිවසට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්දට බාධාවක් නොවන පරිදි මෙම  පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කරන බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසී ය.

අනතුර සිදු වු දිනද සුපුරුදු ලෙස ජනේලයෙන් නිවසට පැමිණීමේ දී  මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසෙත් නොමැති නම් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් පොලිස් සැරයන්  ප්‍රසන්න යන නිලධාරීහු සිදු කරති.