තීන්ත සල්ලි තාමත් ගන්නවාලු


තීන්ත ගෑම සඳහා බස්නාහිර පළාත් සභාවේ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් දී තිබියදී ගම්පහ දිසාවේ පාසල් තුනක පත්න්තිවල තීන්ත ගෑමට එක් සිසුවකුගෙන් රුපියල් 1000 බැගින් එකතු කළ බව දෙමව්පියෝ කියති.

එවැනි එක් පාසලක මව්පියන් පිරිසක් පැවසුවේ තීන්ත ආලේප කිරීමට රුපියල් දහස බැගින් ගෙන එන ලෙස දැන්වූ බවයි. එම මුදල වැඩි බව පැවසුවත් රුපියල් දහසක් ගෙන ඒම අනිවාර්ය කළ නිසා මුදල් දුන් බව කීහ. පන්තියක සිසුන් 40-50ත් අතර ප්‍රමාණයක් සිටින බවත් එක් පන්තියකින් රුපියල් හතලිස් දහසත් පනස් දහසත් අතර ප්‍රමාණයක් එකතු වන බවත්, පන්තියක තීන්ත ආලේප කිරීම සඳහා රුපියල් දස දහසක්වත් නොයන බවත් කීහ.

තවත් පාසලක දෙමාපියන් පිරිසක් පැවසුවේ තම දරුවන් හිෂ්‍යත්වයෙන් හය ශ්‍රේණියට ඇතුළත් කරද්දී පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව විවිධ හේතු දක්වමින් රුපියල් 4000ක් එකතු කළ බවයි. ඉන් අනතුරුව තීන්ත ගෑමට මුදලක් අවශ්‍ය බවත්, ඒ සඳහා මුදලක් යෝජනා කරගෙන එකතු කර ගන්නා ලෙසත් පන්තිභාර ගුරුවරු දෙමාපියනට කී බවත්, දෙමාපියන් දෙදෙනෙක් ඉදිරිපත් වී රුපියල් දහසක් යෝජනා කර ස්ථිර කර ගත් බවත්, අන් අයට ඇහුම්කන් නොදුන් බවත් පැවැසූහ.

ගම්පහ වෙනත් පාසලක දෙමාපියන් පිරිසක් පැවසුවේ සෑම සමකම යම් යම් දේ කියමින් මුදල් එකතු කරන බවයි. පාසලේ ගොඩ නැගිල්ලක් සෑදීමට පොළක් පවත්වන බව කියමින් රුපියල් 800ක භාණ්ඩ ගෙන ඒම අනිවාර්ය කළ බවත්, දැන් තීන්ත ආලේප කිරීමට බව කියමින් නැවත රපියල් දහස බැගින් එකතු කරන බවත්, සෑම දෙමාපියකුටම එක හා සමානව මුදල් දීමේ හැකියාවක් නැති බවත් දෙමාපියෝ කියති.

පසුගියදා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා  මාධ්‍ය හමුවකදී පැවසුවේ එලෙස මුදල් එකතු කිරීම නීති විරෝධී බවයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙලෙස මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවයි. තමන් කෙතරම් විරෝධතා දැක්වුවත් මෙය දිගින් දිගටම සිදු කළ බවත්, හොරණ සිද්ධිය නොවන්නට එය යට යනු ඇති බවත් ඔහු කීය. හිතු මතේ මුදල් අය කිරීම චක්‍රලේඛ මගින්ම තහනම් කර ඇති බව කී ස්ටාලින් මහතා එලෙස සිදුකරන්නේ නම් ඊට විරුද්ධ වීමේ අයිතිය දෙමාපියන්ට ඇති බව ද කීය.

ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චිමහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.