තිස්දාහක් පරදවා ලාංකිකයා කිරුළ දිනයි


මලයාසියාවේ  ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි  ටෝස්ට් මාස්ටර්  ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී  දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගත් ධනංජය හෙට්ටි ආරච්චි   අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන්  දිවයිනට පැමිණියේය.

ආසියා ජාතිකයකු මෙම ජගත් ශූරතාවය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

ධනංජය හෙට්ටි ආරච්චි මහතා ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්හි නිලධාරීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින්  ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ටෝස්ට් මාස්ටර් ඉන්ටර්නැෂනල් සංවිධානය වසරක් පාසා පවත්වන මෙම  තරගාවලියට ලොව පුරා රටවල් 126 ක  14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් සහභාගී වෙති.

සිව් දිනක් පුරා  තරග පැවැත්විණි. පසුගිය අගෝස්තු 21  අවසන් පුර්ව තරගාවලියේදී ලොව හොඳම කථීකයින් 9 දෙනා තුන්දහසකට අධික නරඹන්නන් ඉදිරියේ තම කුසලතා දැක්වුහ.

ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වෙන තරගාවලියේ  ‘අයි සී සම්තින්‘  යන මාතෘකාව යටතේ විනාඩි 7 ක කතාවක් පැවැත්වු ධනංජය ප්‍රේක්ෂකාගාරයේ සිටි සියළු දෙනා තම ග්‍රහණයට නතු කර ගත්තේය.

විටෙක හාස්‍ය මතුකළ ඔහුගේ කතාවේ ගැබ්ව තිබු පණ්විඩය සියළු දෙනාගේ අවධානය යොමු වීම මත ඔහු මෙම ජයග්‍රහණය හිමිකරගත්තේය.

මේ වන විට මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස සේවය කරන ධනංජය  ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.


ධනංජය ඔහු ලැබු ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවසුවේය

 ‘‘අවුරුදු 75 ක තරගාවලි ඉතිහාසයේ ආසියා ජාතිකයෙක් ලෝක ශූරතාව හිිමිකරගත් පළමු අවස්ථාවයි මේ.ඉතින් මේ ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් පමණක් නෙමෙයි සමස්ථ ආසියාවේම ජයග්‍රහණයක්. ඒ නිසා මේ මොහොත ලංකාවට ආඩම්බර වෙන්න පුලූවන් අවස්ථාවක්.

ලෝකයේ සියළු රටවල් වලින් දක්ෂ කථීකයෝ මෙහි තරග කළා. මිනිත්තු හතක කතාවක් මට කරන්න තිබුනේ.  එහිදී මගේ කතාවේ තේමාව උනේ මගේ පියා මා අධ්‍යාපනය අවසන් කර ගෙදර සිටින විට ඔහුගේ යහළුවෙක් වෙත අරන් ගියා. ඒ යහළුවා එදා මා දිහා බලා කිව්වා  ‘‘අයි සී සම්තින්‘‘  කියලා. ඒ කියන්නේ ඔහුට මගේ මොනවා හරි පෙනුනා. ඒත් ඒක එකපාරටම කියන්න බැහැ ටික දවසක් යනවා කිව්වා. ඒ එදා පෙනුන දේට ඔහු මාව යොමු කළා. එහි ප්‍රථීපලය තමයි මා අද මේ ලබා ගත් ජයග්‍රහණය. මගේ කතාවේ තේමාව එයයි.
ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවු රටක කෙනෙකු මේ ජයග්‍රහණය හිමිකරගත්තා කිව්වම එතන හිටිය හැමෝම පුදුම වුණා.

මම වසර 10 යක් තිස්සේ විවිධ තරගවලට සහභාගී වෙමින් මේ සඳහා පුහුණුව ලබා ගත්තා. පැරදුනු හැම වෙලාවෙම මම එයින් යම් පාඩමක් ඉගෙන ගත්තා. මම අපේ දරුවන්ට කියන්නේ ඕනෙම කෙනෙකුට උත්සාහය සහ උනන්දුව තියෙනවා නම් ලෝක ජයගන්න එක සුළු දෙයක්.‘‘

 

  1 3 5 6 7 8 9 10 DSC07618 DSC07620 DSC07624 DSC07625 DSC07626 DSC07635 DSC07654 DSC07662 DSC07665 DSC07668 DSC07680 DSC07681