තිලිණ ගමගේගේ තීන්දුව ආපස්සට


කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියකට පාසලේ දී බලහත්කාරකමක් කළැයි චෝදනා එල්ලවී සිටි තුසිත තිලිණ මාලෙගොඩ නම් ගුරුවරයකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් හා අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ලබා දුන් තීන්දුව අද (18)  ප්‍රතිශෝධනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා එම ගුරුවරයා වැරදිකරු කළේය.

ගුරුවරයාට එරෙහිව දඬුවම් පැමිණවීමට එම තීන්දුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

පසුගිය ආණ්ඩු කාලයේ මෙම ගුරුවරියගේ සිදුවීම දැඩි කතාබහට ලක් විය. තමාට සිදුවූ කරදර ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් සාධාරණයක් නොවුන තැන එය මාධ්‍යයට ලබා දීමෙන් පසු අගතියට පත් ගුරුවරියගේ වැඩ තහනම් කැරිණි.

ඊට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙතත්සමක් ගොනු කළාය. එහි අතුරු නියෝගයක් අනුව ගුරුවරියට යළි රැකියාව ලැබුණ ද අමාත්‍යංශය  ඇගේ වැටුව් වර්ධක කිහිපයක් අත්හිටුවීය.

නීතීඥ සාලිය පීරිස් මහතා සහ උපුල් කුමාරප්පෙරුම මහතා ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ.