තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්


(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ විවාදයට එක්වෙමින් අද (05) පැවසීය. එහිදී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“එළියෙ මරාගන්නවා අදාහනයද? භූමදානයද? කියලා. හැබැයි ඇතුළෙන් මොනවද වෙන්නේ. ඊයේ පෙරේදා අලුතින් බාර් පර්මිට් 75 කට වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා”
“සංචාරක හෝටල්වලට නෙමෙයි දීලා තියෙන්නේ. සුපර් මාර්කට්වලට දීලා තියෙනවා. මීටර් 500 සීමාව බලන්නේ නැතුව පාසල්, පන්සල් ළඟට දීලා තියෙනවා. අපි හෙට අනිද්දා ස්ථාන හෙළිකරන්නම්”

එම කථාව අතරතුරදී ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරයෙක් බාර් පර්මිට් දී ඇත්තේ කාටද? යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරු සැපයීය.  
“ඔබතුමාලා වගේ පසු පෙළ මන්ත්‍රීවරු මේවා දන්නේ නෑ...”

“අනේ පව්... ඉදිරි පෙළ මන්ත්‍රීවරුත් දන්නේ නෑ. ඔබතුමා ගිහින් හොයලා බලන්න. බාර් පර්මිට් 75 ක් දීලා තියෙනවා. ඕනනන් මම ලැයිස්තුවත් එක්ක දෙන්නන්”

“ඒ වගේම සීනි ජාවාරමෙන් රුපියල් බිලියන 10 ක්. එදා මහ ලොකුවට කෑ ගැහුවා ලංකාවේ ලොකුම හොරකම මහ බැංකු හොරකම් කියලා. අද ඒ හා සමාන හොරකමක් සීනි ජාවාරම හරහා සිදුවෙනවා. තමන්ගේ ගජමිතුරෙක් එක සතියක සීනි ගේම් එකකින් රුපියල් බිලියන 10 ක් ගහනවා. ඒ ජාවාරම්කාරයම රටට පොල්තෙල් ටික ගේද්දී තවත් මිලියන 175 කට ගහනවා”

“යුක්රේනය කියන්නේ ගරු මන්ත්‍රීතුමනි,... යුරෝපයේ යුක්රේනය බොහෝ ප්‍රසිද්ධ ..... ජාවාරම්වලට. යුරෝපයට වීදි ගණිකාවෝ, හොරු, මංකොල්ලාකාරයෝ ඔක්කොම එන්නේ යුක්රේනයෙන්. අද ඔවුන් ලංකාවට එනවා ඩොලර් 120 ක් වියදම් කරන්න එක දවසකට, කොවිඞ් කර පින්නගෙන”