ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතාව හදිසියේ කොළඹට කැඳවීම නිසා එරට සිටින විසිපන්දහසක් පමණ වූ ශ්‍රී ලංකික ජනතාව මහත් කැළඹීමට පත්ව ඇති බවත් දෙරට අතර සිදුවිය යුතු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ නිසි ගෞරවය ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමි කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කොට ඔහුට ගෞරවයෙන් ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන මෙන් ඕමාන් බෞද්ධ සංගමයේ සභාපතිවරයා වන තුසිත් ප්‍රසන්ත ගලප්පත්ති මහතා ලාංකික ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කර ඇත.
ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අරාබි දේශයේ මුදුන් මල් කඩක් වැනි ඕමානයේ බෞද්ධ විහාරස්ථානය ධර්ම රාජ්‍යයක් සේ බැබලවීමට උදව් කළ එකම තානාපතිවරයා ඔහු බවයි.
එමෙන්ම මසකට වරක් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරමින් සහ වසරකට වරක් සංඝ්‍යා වහන්සේලා 12 නමක් වැඩම කර දෙරටේ නායකයින් ඇතුළු ප්‍රජාවට සෙත් පතා පිරිත් සජ්ඡායනාවක් පවා සිදු කර මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට අමිළ සේවයක් කළ තානාපතිවරයෙකු බවයි.
එබැවින් ඔහු කළ අනගි සේවයට කිසිදු උපහාරයක් හෝ ඇගයීමක් කිරීමට ශ්‍රී ලංකා ප්‍රජාවට ඉඩ නොදී මෙසේ කැඳවා තිබීමෙන් මුළු මහත් ශ්‍රී ලාංකික නාමයට අගෞරවයක් සිදු වී ඇති බැවින් එම ක්‍රියා දාමයද දැඩි සේ හෙලා දකින බවත් එහි සඳහන් කර ඇත.
සම්ප්‍රදායික ක්‍රමයට ගෞරව ලබමින් තානාපතිවරයෙකුගේ නික්ම යාම අහිමිකරමින් ශ්‍රී ලංකාවට අගෞරවයක් කරමින් ගන්නා ලද තීරණය වහාම අවලංගු කොට ගෞරවයෙන් එතුමාට ඕමානයෙන් පිටවීමට අවස්ථාව සලසා දෙන මෙන් මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහි සඳහන් කර ඇත.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ අන්තනෝමතික ක්‍රියා කලාපය දැඩි සේ හෙලා දකින බවත් මෙවැනි තීරණ ගැනීම නිසා නුදුරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද පදනම දෙදරා යාමට හේතුවන තරමේ කැළඹීමක් මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා ප්‍රජාව තුළ ඇති වී ඇති බවත් ඔහු ජනාධිපතිවරයාට එමගින් දන්වා ඇත.
තානාපතිවරයාගේ අවසාන රාජකාරී දිනය ජූලි 29 බව ශ්‍රී ලාංකික ප්‍රජාවට දන්වා ඇති බවත් ජුලි 30 දින ඔහු මස්කට් නගරයෙන් පිටවීමට නියමිත බවත් ඔහු එහි සඳහන් කර ඇත.
දුෂිත නිලධාරීන්ගේ හා ප්‍රබල දේශපාලඥයෙකුගේ කුමන්ත්‍රණයක් මත තානාපතිවරයා හදිසියේ ඉවත් කර ගැනීමෙන් අපකීර්තියට පත් වනුයේ ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකික ප්‍රජාව බැවින් නැවත තානාපතිවරයෙකු ඕමානයට පැමිණෙන තුරු මෙම තානාපතිවරයාටම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් දූෂිත නිලධාරීන් වැඩ බලන තානාපතිවරුන් ලෙස පත් නොකරන ලෙසත් ඔහු එරට වෙසනෙ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉල්ලීම් කරන බව තවදුරටත් දන්වා ඇත.
තානාපතිවරයා ඕමානයෙන් පිටත්වීමට නියමිත ජූලි 30 දිනට ප්‍රථම මෙයට වහා මැදිහත් වී ගෞරවයෙන් ඔහුට පිටවීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට මෙයින් වන හානිය හා විදෙස් සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන තානාපතිවරයාට මෙයින් වන කළු පැල්ලම ඉවත් කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙසත් ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

