තාජුඩීන්ගේ ඇටකටු සොයන්න රහස් පොලිසිය සයිටම් යයි


ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අස්ථාන ගතවූ අස්ථී කොටස් සොයා ගැනීම සදහා කොළඹ ප්‍රධාන  අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අද (03) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) තුළ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ ලක්ෂිකා අයිරාංගනී ජයරත්න, අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ජීන් පෙරේරා, අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ විශේෂඥ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. පී. එ්. හේවගේ ද එම වෛද්‍ය කණ්ඩායමේ වෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබිණ.

මෙම සිද්ධියට අාළව ඉකුත් 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සදහන් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සිටි වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම ලබාගැනීමට දින කිහිපයකට පෙර එම කාර්යාලයේ ඉහළ මාලයේ තිබූ මිනිස් සිරුරුවල අස්ථී කොටස් බහා තිබූ විවිධ ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටි 15ක් 20ක් පමණ පහළ කාමරයකට රැගෙන ගොස් ඇති බවට තොරතුරු ඇති බවයි.

අබේසිංහ ආරච්චිගේ චන්ද්‍රපාල නැමැති පුංචි බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක සේවය කරනු ලබන රියැදුරු විසින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ නියෝග මත වාහනයට පැටවූ අස්ථී කොටස් සහිත පෙට්ටි, මාලබේ  පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වූ සයිටම් ආයතනය වෙත ගෙන ගොස් භාරදුන් දී ඇති බවට හා ඒවා මේ වන විට එම ආයතනයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බවට තොරතුරු ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට කීවේය.