ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළද මූලික තාක්ෂණ සේවයේ ස්ථිර තනතුරු ලැබී නැතැයි එහි සේවකයෝ දෙසීයයක් පමණ චෝදනා කරති.
වසර 2009 හා 2013 දී දුම්රිය සේවයට බඳවාගත්තද විවිධ දේශපාලනික පළිගැනීම්වලට ලක්වෙමින් මෙතෙක් සේවය ස්ථිර නොකරීමෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි එම සේවකයෝ කියති.
මූලික තාක්ෂණ සේවයේ 11 (ආ) පන්තියේ සේවකයින් ලෙස බඳවා ගැනීමට කළ ඉල්ලීම් මෙතෙක් ඉටුවී නැතැයිද පසුගිය රජය සමයේ විවිධ දේශපාලන කටයුතුවලට බලහත්කාරයෙන් සම්බන්ධ කරගත් බවත් ජර්මානු කාර්මික පාඨමාලාව හදාරා විශේෂ සුදුසුකම් සහිතව සේවයට බැඳී කුණු කාණු සුද්ධ පවිත්‍ර කිරීමටද සිදුවූ බවත් ඔවුහු කියති.
පුර්ණ කාලීනව මෙන්ම වසර දෙක හමාර හා තුන හමාර යන කාල සීමාවක් ශ්‍රී ලංකා ජර්මාන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේදී මූලික තාක්ෂණික සේවය යාන්ත්‍රික වෑද්දුම්කරු, සාමාන්‍ය වෑද්දුම්කරු, ඩීසල් වෑද්දුම්කරු මැෂින්කරු, ගෑස් කපන්නා හා තහඩුකරු යන තනතුරු සඳහා විධිමත් පුහුණුව ලබා තිබියදී වෙනත් නුසුදුස්සන්ට දේශපාලනික පත්වීම් ලැබී ඇතැයිද ඔවුහු කියා සිටිති.
දුම්රිය සේවයට අවශ්‍ය ශ්‍රමබල ඌනතාවයට විසඳුමක් ලෙස කාර්මික විද්‍යාලය තුළ වසර 3කට වරක් ශිල්පියකු සඳහා ලක්ෂ 5 ක වියදමක් සිදුකර වසරක් අවසානයේ තාක්ෂණ ශිල්පීන් 100 දෙනකු පමණ පුහුණු කරනු ලබන බවත් එම ශිල්පීන් දුම්රිය සේවයට බඳවා නොගෙන නොපුහුණු සේවයකයින් විශේෂිත චක්‍රලේඛ හා ප්‍රතිපාදන මඟින් ස්ථිර සේවය පිහිටුවීමෙන් වර්තමානයේ පවා 50%ක පමණ අඩුවක් පවතින දුම්රිය සේවය තාක්ෂණ ශිල්පී සේවෙය් කටයුතු පවත්වාගෙන යාමට විශාල බාධාවක් සිදුවී ඇතැයිද එම තාක්ෂණ ශිල්පීහු පෙන්වා දෙති. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ලිපි මඟින් මේ පිළිබඳව දැනුම්වත් කර තිබුණද සාධාරණ පිළිතුරක් නොලැබී ඇතැයිද තමන් කම්කරු පත්වීම් මත සේවයට බඳවාගෙන විශාල අසාධාරණයකට ලක්ව ඇතැයිද සඳහන් කරති.
මෙසේ අත්දැකීම් ලබා විශේෂ පුහුණුවක් ලබාගත් තාක්ෂණ ශිල්පීන් ස්ථිර බඳවාගැනීම් සිදු නොකර පමා කරන්නේ කවර උවමනාවකටදැයි ඔවුහු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති. දුම්රිය සාමාන්‍යාධිකාරී වී.අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම සේවකයින් මාස කිහිපයක් ඇතුළත ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු සිදුකරගෙන යන බවය.

