ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවරාගන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්


ලංකා ඉන්දියන් තෙල් සමාගම සන්තකයේ තිබෙන ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණය ශ්‍රී ලංකා රජයට වහා පවරා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට සහ බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමය විසින් අද  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

එම තෙල් ගබඩා සංකීර්ණය අදාළ ඉන්දීය සමාගමට පවරා දෙමින් අත්සන් කරනු ලැබූ ගිවිසුම බලශූන්‍ය කර එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යළි පවරා දෙන්නැයිද එම සංගමය ගොනු කළ පෙත්සමේ සඳහන් වේ.

නීතීඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමය වෙනුවෙන් එහි ලේකම් ඩී.ජේ.ඒ.එස්.ද.එස්.රාජකරුනා සහ එම සංගමයේ  සභාපති අසොක් සපුමල් රන්වල යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.