ත්‍රිකුණාමලය අවට මුහුදේ රිච්ටර් මාපක 3.9 භූකම්පනයක්


(අමදෝරු අමරජීව )

ත්‍රිකුණාමලය ගොඩබිම සිට කිලෝමීටර 60 ක් ඊසාන දෙසට වන්නට මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.9 භූකම්පනයක් අද (18) පස්වරුවේ සිදුවූ බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. 

ශ්‍රී ලංකාවේ පස්වරු  හතරයි විනාඩි හයයි තත්පර 36 වේලාවෙන් මෙම  භූකම්පනය සිදුවී ඇති අතර මෙම සුනාමි තත්ත්වයකට හෝ වෙනත් කිසිදු ආපදා තත්ත්වයකට බලපෑමක් ඇති නොකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කේ. සුගුණදාස් මහතා පැවසීය .

ත්‍රිකුණාමලයේ මුහුදුබඩ ප්‍රදේශවල ජනතා පවසන්නේ සුළු වූ කම්පන තත්ත්වයක් තමන්ට දැනුණු බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉශාර ටී. කම්කානම්ගේ මහතා පැවසුවේ මෙම භූ කම්පන තත්ත්වය ධීවර කටයුතුවලට බලපෑමක් ඇතිවු බවට වාර්තා නොවන බවයි .