ත්‍රස්තයන් මඩින්න ඕස්ට්‍රේලියා සහාය පතයි


ත්‍රස්ත කටයුතු සදහා සිදුකෙරෙන ආධාර එක්රැස් කිරීම් හා කලාපයේ සිදුවන ත්‍රස්තවාදයට උඩගෙඩි දිය හැකි ඕනෑම ක්‍රියාකාරකමක් මැඩ පැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ   සහය ඉල්ලා ඉල්ලයි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එහි ගොස් සිටි විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස්  හා  ඕස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප්  අතර පැවති හමුවකදී මෙම කරුණ  ඉස්මතු කැරිණි.

ත්‍රස්ත කටයුතු මැඩලීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජූලි බිෂොප් මහත්මිය දැනුම්වත් කිරීමට අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කටයුතු කළේය.පසුගිය සමයේ අත්තනෝමතික ලෙස අසාදු ලේඛණ ගතකොට ඇතැයි කණ්ඩායම් 16 ක් හා පුද්ගලයින් 424 දෙනෙකු මුල් කරගෙන ශ්‍රී ලංකා රජයට නැගෙන චෝදනාවන් පදනම් වරහිත යැයිද රජය එම කණ්ඩායම් වලට හා පුද්ගලයින්ට එරෙහිව පියවර ගත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1373 වැනි යෝජනාවලිය ප්‍රකාරව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ත්‍රස්ත කටයුතු සදහා විදේශයන්හි සිට මහා  පරිමානයෙන් මුදල් ගලා එන බවද,ඒවා යුධමය, බුද්ධි කටයුතු හා ප්‍රචාරක කටයුතු සදහා  යෙදවෙන බවද අමාත්‍යවරයා ජූලි බිෂොප් මහත්මිය හමුවේ පැවසීය. ඒවා මුල් අවස්ථාවන් වලදීම මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇය දැනුම්වත් කිරීමටද අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කටයුතු කළේය.

එවන් ක්‍රියාකරකම් සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීම සදහා සියලූ රටවල් එක්ව කටයුතු කිරීමේ හා අවදියෙන් සිටීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එල්.ටී.ටී.ය ඕස්ට්‍රේලියාවේ තහනම් සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම ස්තූතියද පළ කර සිටියේය.තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පක්ෂව පෙනී සිටීම සම්බන්ධයෙන් තම කෘතවේදීත්වයද දන්වා සිටියේය.අනවසර සංක්‍රමණිකයින් හා මිනිස් ජාවාරම්කරුවන්ගේ කටයුතු මැඩීමට ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියාව හා සැමදා එක්ව කටයුතු කරනු ඇති බවට අමාත්‍යවරයා සහතික විය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනික හා ආර්ථීක ප්‍රවණතා හා එම ක්ෂේත්‍රයන්ගේ ගෙන ඇති නව පියවර සම්බන්ධයෙන්ද ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය හමුවේ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා කරණු පැහැදිලි කළේය.

දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කර ගතයුතුව ඇතැයි දෙපාර්ශවයම තීරණය කළෝය.දේශපාලනික, වෙළද හා ආරක්ෂක යන ක්ෂේත්‍ර මූලික කරගෙන නව සබදතා ඇති කර ගැනීමේ අවස්ථාවන් පිළිඹදවද සාකච්ඡා කැරිණි.අධ්‍යාපන, බැංකු හා මූල්‍ය කටයුතු, රක්ෂණ කටයුතු, සංචාරක ක්ෂේත්‍රය, යටිතල පහසුකම් හා මෘදුකාංග සංවර්ධනය, පතල් ක්ෂේත්‍රය, වැනි ක්ෂේත්‍රයන් වල ඕස්ට්‍රේලියා ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇති බවටද හදුනා ගැනුනි.