තහනම් මත් පෙති පන්දහසක් රේගුවේදී අල්ලයි


විලවුන් උපකරණ හා ඹෟෂධ පාලන අධිකාරියේ  සහ ආනයන පාලන පනතින්  අනුමැතියකින් තොරව  ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ  වේදනා නාශක කරල් පන්දහසක්  සමග ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද අළුයම  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කුලියාපිටිය ප‍්‍රදේශයේ පදංචි තිස් පස් හැවිරිදි රෙදි පිළි ව්‍යාපාරිකයෙකි. 

අත් අඩංගුවට ගනු ලැබූ  වේදනා නාශක කරල්  වල වටිනාකම රුපියල් ලක්ෂයකි.  

 මෙම වේදනා නාශක කරල් මත් ද්‍රව්‍ය වෙනුවට ආදේශකයක් ලෙස මෙරට  මත්ලෝලීන් මෙන්ම නගරබද පාසැල් සිසුන්ද  භාවිතා කරන බව අනාවරණය  වී ඇති බැවින් මෙය පෞද්ගලික ඖෂධ හල් වල අලෙවි කිරීම තහනම් කර ඇති බවත් මෙය ලබා ගත හැක්කේ  වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත රජයේ ඔසු සැල් වලින් පමණක් බවත්  විලවුන් උපකරණ හා  ඖෂධ පාලන අධිකාරිය කියයි.

සැකකරු  ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී 001 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ  ඇත.  

එම අවස්ථාවේ  නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් මහතාට සැකකරු පිළිබඳ ඇති වූ සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම වේදනා නාශක කරල් තොගය සොයාගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදුකළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් මෙම වේදනා නාශක කරල් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් මහතා ඇතුළු රේගු නිලදාරීහු සිදුකරති.