පැලෑටි ආරක්ෂන පනතට පටහැනිව බැංකොක් සිට මෙරටට ආනයනය කරන ලද ඇන්තූරියම් පඳුරු 158 ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මල් ආනයනය කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි.
රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසුවේ පැලෑටි ආරක්ෂන පනතින් ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම තහනම් බවට නම් කර ඇති පැලෑටියක් බවයි.
මේ අයුරින් හොර රහසේ ඇන්තූරියම් මෙරටට ආනයනය කිරීම නිසා මේ වන විට මෙරට ඇන්තුරියම් වගාවට මෙන්ම සෙසු වගාවන්ටද විවිධ රෝග වැළඳී ඇති බවත් ඔහු කීවේය.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 423 දරණ ගුවන්යානයෙන් බැංකොක් නුවර සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කර ඇත. එහිදී ගමන් මලූ දෙකක් තුළ බහා රැගෙන විත් තිබු මෙම අැන්තූරියම් පඳුරු තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් දස දහසක දඩයක් නියම කොට එම ඇන්තූරියම් තොගය රාජසන්තක කර පේරාදෙණිය උද්භිද උද්‍යානයට බාර කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යන්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ සහ රේගු ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්.එම්.ඒ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධීකාරීවරුන් වන සමන් බාලසුරිය, ජේ.කේ ආරියදාස සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, එස්. පෙරේරා සහ එස්. කුමාර යන නිලධාරීහු සිදු කරති.

