තවත් විද්‍යුත් වාහන 506 මුදා හරින්න එකඟ වේ


(මනෝප්‍රිය ගුණසේකර)

රේගුවේ රඳවාගෙන ඇති ‘බී.වයි.ඩී’ විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණය හමුවේ අද (03) එකඟත්වයට පත්විය.

ආනයනය කළ විද්‍යුත් වාහන රඳවා ගැනීමට එරෙහිව ‘ජොන් කීල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව මෙම එකඟතාවය පළ කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණී.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය කරුණු දක්වමින් අධිකරණය හමුවේ මීටපෙර ඇතිකරගත් එකඟතාවය මත බැංකු ඇපකරයක් මත රේගුව විසින් රඳවාගෙන සිටි විද්‍යුත් වාහන 991 ක් මුදා හැර තිබූණත් එම කාණ්ඩයටම අයත් තම සේවාදායකයා විසින් ආනයනය කළ තවත් විද්්‍යුත් වාහන 506 ක් මුදා හැරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි කීවාය.

රේගුවේ මෙම ක්‍රියාකලාපය හේතූවෙන් තම සේවාදායකයාට ව්‍යපාරික කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

වගඋත්තරකාර ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් බැංකු ඇපකරයක් මත වාහන 901 ක් නිදහස් කිරීමේ එකඟතාවය ඇතිවූ පසුගිය නඩු දිනයේ අදාළ වාහන පිලිබද විමර්ශන කටයුතුවලට සහාය දක්වන බවට පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ එකඟතාවය පළ කළත් මෙම වාහනවලට අදාළ තාක්ෂණික තොරතුරු දෙන ලෙස රේගුව විසින් කළ ඉල්ලීම් ලබාදීම පෙත්සම්කාර සමාගම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනුම් දුන්නේය.