තවත් මත් පැලෑටියක් කටුනායකදි අල්ලයි


කෙන්යාවේ සිට මෙරටට ගෙන ආ ‘‘කාත්‘‘ නැමැති මත් පැලෑටි කිලෝග‍්‍රෑම් පනහක් සමග  ශ‍්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අළුයම  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු කොළඹ කොච්චිකඩේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයෙකි.

නියෝජ්‍ය  රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී තිලින විජේසේකර යන නිලදාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරිමේදී ගමන් මළු දෙකක බහා කෙසෙල් දළු වල ඔතා ගෙනා මෙම මත් පැලෑටි  සොයාගෙන ඇත.

මෙම වර්ගයේ මත් පැලෑටි  ශ‍්‍රී ලංකාවේදී ඇල්ලූ ප‍්‍රථම වතාව මෙය බව රේගුව කියයි.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මත් පැලෑටි කැනඩාවට යැවීම සඳහා ශ‍්‍රී ලංකාවට ගෙන ආ බවත් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී මේවා තවත් පුද්ගලයෙකුට බාර දීමට සිටි බවයි.

රේගුව පවසන්නේ සැකකරු ලග කැනඩාවට යාම සඳහා ගුවන්ටිකට් පත් නොතීබු බවයි.

කෙසේ වෙතත් කැනඩාව, ජර්මනිය ඇතුළු යුරෝපා රටවලට මෙම මත් පැලෑටිය ගෙන ඒම තහනම් කර ඇත.

කෙන්යාව ඇතුළු අප‍්‍රිකානු රටවල ගොවීන් විසින් මෙම මත් පැලෑටිය වගා කරනු ලබන අතර මෙහි කැතිනෝන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බව වාර්ථා වෙයි. එසේම මෙහි කොළ අමුවෙන් ඉතා සැර අදික වන බවත් වියළා කෝපි ලෙසත් දුම්කොළ ලෙසත් භාවිතා කරන බවත් කියති.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරී තිලින විජේසේකර යන නිලධාරීහු  සිදුකරති.