තවත් අපේ පිරිසක් ජපන් රැකියා වලට


(අංජුල මහික වීරරත්න)

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 13 දෙනකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදු කෙරිණි.

  එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියෝ  4 දෙනෙක් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයෝ 9 දෙනෙක් අයත් වෙති.

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් වශයෙන් මොවුන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 560ට අධික පිරිසක්  ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. 

නියමිත  පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස් යාපා , ජ්‍යෙෂ්ඨ කළමනාකරු (බඳවාගැනීම්) සුසිල් කුමාරපේලි මහත්වරු සහ IM Japan ආයතනයේ ශ්‍රි ලංකා කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.