තරුණිය පැහැරගත් යතුරු පැදිකරු ගුටි කා රෝහලේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොල්පිතිගම බස් නැවතුම් පොලක රැඳී සිටි  තරුණියක නිවෙසට ඇරලවන පවසා යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස්  පහර දී එම තරුණියට ලිංගික අතවරකළේ යැයි කියන එම පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොල්පිතිගම පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණිය ද රෝහල් ගතකර ඇත.

පරිගණක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යෑමට මෙම තරුණිය  පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම් පොලක රැඳී සිට තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු තරුණිය ඇගේ නිවසට කැඳවාගෙන යන්නම් යැයි කියා කතා කර ඇතැයි පොලිසිය පවසයි.

රෑ බෝවීගෙන එන නිසාත් බස් රථයක් නොපැමිණි නිසාත් තරුණිය යතුරු පැදියට ගොඩ වූ අවස්ථාවේ එම පුද්ගලයා තරුණිය බලහත්කාරයෙන් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි ද පොලීසිය පැවසී ය.

නිවස තුළට තරුණිය ඇදගෙන ගොස් ඇති අතර ඇය ඔහුගෙන් බේරී පලා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ එම පුද්ගලයා තරුණියට පහර දී ලිංගික අතවර සිදුකර ඇති බව පොලීසිය කියයි. තරුණියගේ කෑගැසීම නිසා අසල්වාසීන් පිරිසක් පැමිණ එම පුද්ගලයා අල්ලාගෙන ඔහුට හොඳ හැටි පහරදී පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පහර කෑමට ලක් වී සිටි නිසා මොහු මුලින්ම පොල්පිතිගම රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කරන ලදැයි පොල්පිතිගම පොලිසිය වැඩිදුරටත් කීය.