තරුණ අලෙවිකරණ රන් සම්මානය ලංකාවට


ප‍්‍රංශයේ කෑන්ස් නුවර පැවැති  කෑන්ස් ලයන්ස්  නිර්මාණශීලිත්ව ජාත්‍යන්තර උළෙලේදී   රටවල් 23 ක් අභිබවා  තරුණ අලෙවිකරණ අංශයේ තරගයෙන් හොඳම තරුණ අලෙවිකරණ කණ්ඩායමට හිමි රන් සම්මානය දිනාගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිත විජේසිංහ(28) සහ හිරුණි මෙන්ඩිස්(26)  සමත්වූහ.

60 වැනි වරටත් පැවත්වූ මෙම උළෙලේදී ශ‍්‍රී ලංකාව මෙම අංශයෙන් රන් සම්මානයක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය බව ශ‍්‍රී ලංකා අලවිකරණ ආයතනය පවසයි.

ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දෙමින් දිවයිනට පැමිණි ලක්ෂිතව  සහ හිරුණිව   ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී චින්තක වනසිංහ මහතා ඇතුළු නිලධාරීහු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.

මෙම උළෙලේ තරුණ අලෙවිකරණ අංශයෙන් පැවති තරගය සඳහා  ජපානය,  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව ඇතුළු  රටවල් 23 ක තරගකරුවෝ 46 දෙනෙක් සහභාගී වූ අතර තරගාවළිය  දින තුනක්  පුරා පැවැත්විණි.

මොවුන් දෙදෙනා මෙම සම්මානය හිමිකරගත්තේ  අනෙකුත් රටවල් අභිබවමින් පෙන්වූ  අලෙවිකරණ ඉදිරිපත් කිරීම් වෙනුවෙනි. මෙහිදී ශ‍්‍රී ලංකාව ප‍්‍රථම ස්ථානයත්, ඩොමිනිකන් ජනරජය දෙවන් ස්ථානයත්  කැනඩාව තෙවන ස්ථානයත් හිමිකරගනු ලැබීය.

ශ‍්‍රී ලංකා අලවිකරණ ආයතනය විසින් මොවුන් දෙදෙනා මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇත.