තමිල්නාඩුවෙන් පන්දහසක් කච්චතිව් ඇවිල්ලා


කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මංගල්‍යය වෙනුවෙන් අද රාත්‍රී වනවිට තමිල්නාඩුවෙන් පන්දහසක්  ද ශ්‍රී ලංකාවෙන් දෙදහසක් ද බැතිමත්හු පැමිණ සිටිති.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය ඉරිදා උදේ 7.00 ට පැවැත්වීමට සියල්ල සූදානම්කැර ඇත.

තමිල්නාඩුවෙන් තවත් 7000 ක් පමණ එතියි නාවික හමුදාව කියයි. තමිල්නාඩුවේ වන්දනාකරුවන් ඇතුළු සියළුදෙනාට නාවික හමුදාව ආහාර නවාතැන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සලසයි.

උතුරු නාවික හමුදාව භාර රියර් අද්මිරාල් ඩී.එස්.දළුවත්ත මහතාගේ අධීක්ෂණයෙන් මෙම කටයුතු සිදුවේ.

යාපනයේ දූපත් සමූහයේ ශ්‍රී ලංකාවට වඩාත් ඈතින් සහ ඉන්දියාවට වඩාත් සමීපව පිහිටි දූපත වන්නේ කච්චතිව් දූපතයි. වර්ග සැතපුම් 1.5 ක් පමණ විශාලත්වයකින් යුතු මෙම දූපත ඩෙල්ෆ්ට් දූපතට සමීපව පිහිටා ඇත. වසර 200 ක් පමණ පැරණියැයි විශ්වාස කැරෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය මෙහි පිහිටා තිබේ. ස්ථිර වාසස්ථාන නොමැති දූපතේ සිටින්නේ ධීවර ප්‍රජාව පමණි. අතීතයේ ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් විසින් තම කටයුතු සඳහා මෙම දූපත භාවිතා කැර ඇත.