තමිල්නාඩුවට පළා ගිය 40 ක් ලංකාවට එති


තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ හතළිස් දෙනෙක් අද (13) ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණියහ.

පවුල් 14කට අයත් මෙම පිරිස අද (13) පෙරවරුවේ ට්‍රිචි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණියේය. ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ගුවන් ගමන් වියදම් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් දරනු ලැබිණ.

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය පැවති සමයේ සරණාගතභාවය අපේක්ෂාවෙන් තමිල්නාඩුවට පළා ගිය මෙම ලාංකිකයෝ කොයිම්බතූර් , ඩින්දුගල්, ඒ. රෝඩ්, කරෑර්, නමක්කාල්, පුදුකෝට්ටෙයි , සාලේම ,සිවන්ගා සහ තිරුචි යන දිස්ත්‍රික් යේ පිහිටි සරණාගත කඳවුරු වල රැදී සිටි පිරිස් වෙති.