තණකොළ කෘෂි බෝගයක් ලෙස නම් කරයි


(අංජුල මහික වීරරත්න)

සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ  කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

මෙරට සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඉහළ බලපෑමක් එල්ල කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කිරිගව පාලනයේ  යෙදී සිටින ගොවීන් හා කර්මාන්තකරුවන්ට දෛනිකව ගවයින්ගෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ගුණාත්මක බවින් ඉහළ තණකොළ නොතිබීම එක් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

මෙි අනුව ගුණාත්මක බවින් උසස් හා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ වන CO3, CO5, Pachon, හා Napier වර්ගවලට අයත් උසස් තෘණ විශේෂ, වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රටේ පුරන් කුඹුරු අක්කර 47,000ක් පමණ ඇති අතර බස්නාහිර පළාතේ කිසිදු බෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000ක් පමණ හඳුනාගෙන තිබේ. එම පුරන් කුඹුරුවල මෙන්ම බෝග වගා කළ නොහැකි ඉඩම් තෝරාගෙන එම ඉඩම්වල සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.