තංගල්ල හිටපු සභාපති ඉබේ තුවාල කරන්


බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසූ නඩුවේ සැකකරුවන් පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරු රෝහිනී වල්ගම මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ අද සාක්කි දුන්හ.

දොස්තර ජේ කේ එච් ජගත් ප්‍රියදර්ශන , දේශානි ධම්මිකා, කේ එල් එස් ද සිල්වා සහ චන්දන ප්‍රියනාත් එම වෛද්‍යවරු වෙති.

දොස්තර ප්‍රියදර්ශන පැවසුවේ  පළමුවැනි හා දෙවැනි සැකකරුවන් වන ලහිරු කැළුම් හා සමන් දේශප්‍රිය 2011 දෙසැම්බර 27 වැනි දා පරීක්ෂා කළ බවයි.

‘ලහිරු කැලුම්ගේ තුවාල තිබුණේ නෑ. දේශප්‍රියගේ අල්ල ඉදිමී තිබුණා. ඊට හේතුව වැටීමක් බව ඔහු කීවා. ඔවුන් මත්පැන් බී සිටි බවට ගඳක් දැනුණේ නැහැ.‘

දොස්තර ධම්මිකා පැවසුයේ තමා මාස හයක් අධිකරණ වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි බවයි. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විදානපතිරණ හා ප්‍රගීත් චතුරංග පිරික්සූ බවත්, සභාපතිගේ ඇඟේ තුවාල හා ඉදිමීම් දුටු බවයි.  

තමා වෙත එන තුවාලකරුවකුගේ තුවාලවල නිධානය නොසොයන බවත්, එය තමාගේ අඩුපාඩුවක් බවත් විත්තියේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමියින් වෛද්‍යවරිය කීවාය.

තෙවැනි විත්තිකරු විදානපතිරණ තුවාල ඉබේ සිදු කර ගත් බව වෛද්‍යවරිය කීවාය. තමා ඔහු පරීක්ෂා කිරීමට පැය 24කට පෙර හෝ පැය 72කට පෙර එම තුවාල සිදුවන්නට ඇතැයි ද ඒවා සිදුවූයේ කවදාදැයි නිෂ්චිත වශයෙන් කිව නොහැකියැයි ද ඇය සඳහන් කළාය.

දොස්තර ජේ එල් එස් ද සිල්වා සාක්කි දෙමින් පැවසුවේ එම් සරත් නම් සැකකරු තංගල්ල රෝහලේ දී පරීක්ෂා කළ බවයි. ඔහුගේ ඇඟේ තුවාල නොදුටු බවත් ඇය කීවාය.

දොස්තර චන්දන ප්‍රියනාත් සාක්කි දෙමින් පැවසුයේ රයන් අකලංක පරීක්ෂා කළ බවයි.

ඔහුගේ ඇඟේ තුවාල 27ක් වූ බවත්, එය මොට ආයුධයකින් පහර දීම හෝ මිට මොලවා පහරදීමෙන් හෝ සිදු විය හැකි යැයි ඔහු කීවේය.

විභාගය අඟහරුවාදාට කල් තැබිණි.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය,තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාන පතිරණ,ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග,එම් සරත් හෙවත් සහන්,හා ප්‍රගීත් චතුරංග සැකකරුවෝය.