තංගල්ල නඩුවේ සාක්කිකරුවකුට බොරු සාක්කි චෝදනා


කුරාම් ෂෙයික් අන්තර් ජාතික රතුකුරුස නියෝජිතයා ඝාතනය කිරීමේ හා ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්කිකාර රයන් අකලංක පැමිණිල්ලට අවාසි සහගත සාක්කිකරුවකු සේ සලකා පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත මුදලිගේ මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය.

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව ක්‍රියා කරන බව ද මුදලිගේ මහතා මහාධිකරණයට පැවසීය.

තංගල්ල පොළොන්මරුවේ විතාරණ රයන් අකලංක පොලිසියට, රහස් පොලිසියට හා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් කරුණු මහාධිකරණ සාක්ෂියේ දී පවසතියි නීතීඥවරයා කීවේය.

උසාවි අවසරයෙන් ඔහු සාක්කිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය.

මෙම නඩුවේ සැකකරුවන් වනුයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිසකි.

තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ 2011 දෙසැම්බර 29 වැනි දා ඔහු පවසා ඇත්තේ ප්‍රාදේශීය සභාපති විදානපතිරණ එම ප්‍රහාරයට අයත් කණ්ඩායමේ සිටි බවයි.

එහෙත් මහාධිකරණයේ දී කීවේ වෙනත් කතාවකි.

නත්තල් දා තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ දී තමාට පහර දුන් පිරිස අතර විදානපතිරණ සිටි බව මහේස්ත්‍රාත්වරයාට පවසා ඇති සාක්කිකරු මහාධිකරණයේ දී පැවසුවේ තමාට පහර දුන්නේ කවුදැයි නොදන්නා බවයි.

තමාට පහර දෙද්දී හිස ආරක්ෂා කර ගැනීම සඳහා තමා දෑතින්ම හිස වසාගෙන සිටි බව ඔහු කීවේය.

තමාට පොලුවලින් හා ටී පනස් හය අවියකින් පහර දුන් බව ඔහු කීවේය.

විදේශිකයකු තමා බේරා ගැනීමට උත්සාහ කළ බවත්, තමා මුහුදු පෙදෙසට දුව ගොස් බේරුණු බවත්, ප්‍රහාරකයන් කවුදැයි නොදන්නා බවත් පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අකලංක කීවේය.

තමාට පහර දුන් පිරිස අතර ප්‍රාදේශීය සභාපති සිටින බව දැනගත්තේ තම මිතුරකුගෙන් බව ද ඔහු පැවසීය.

ප්‍රාදේශීය සභාපතිගේ ලේකම් (පස් වැනි සැකකරු) එම් සරත් හෙවත් සහන් තමාගේ මිතුරකු බවත්, සහන් තමාට පහර නුදුන් බවත් සාක්කිකරු කීවේය.

ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ ආර් ද සිල්වා මහත්වරුන් ද සාක්කිකරුගෙන් ප්‍රශ්න කළහ.

වැඩිදුර විභාගය 31 වැනි දාට කල් තැබිණි.