ඩුබායි බැංකු දොර නෑරේ


හිටපු ප්‍රභූවරයකුගේ පුත්‍රයකු ඩුබායි බැංකුවක තැන්පත් කළ බව කියන සල්ලි ගැන විස්තර ලබාගැනීමට රජය ගත් උත්සාහය ගඟට ඉනි කැපීමක් විය.

රජයේ ඉල්ලීම්වලට ඉඩදිය නොහැකි බව බැංකුව රජයට කියා ඇත.

එය බැංකු නීති හා ක්‍රියාවලියට පටහැනි බව එමිරේට්ස් බැංකුව පවසා ඇත. ලංකාවෙන් ලැබුණු කරුණු ප්‍රමාණවත් නොවන බවත් එම සල්ලි අපරාධ හෝ නීති විරෝධී ආකාරයෙන් හොයාගත් බවට තොරතුරු ලැබී නැති බවත් බැංකුව සඳහන් කර තිබේ.

තම බැංකුවේ රහස් හෙළිකිරීමෙන් තැන්පතු සෝදා පාළුවී බැංකුව බංකොළොත් විය හැකි බවද එමිරේට්ස් බැංකුව පවසා ඇත.

ශ්‍රී ලංකාවෙන් සොරකම් කළැයි කියන වත්කම් යළි සොයාගැනීමේ කාර්ය සාධක බළකායේ නීතිවේදී ජේ.සී.වැලිඅමුණ මේ උත්සාහය මුලින්ම දැරුවේය.

පොලිසිය, අල්ලස් කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුවද එම කාර්ය සාධක බළකායට අයත් විය. වැලිඅමුණගේ උත්සාහයෙන් ප්‍රතිඵල නොලැබුණු පසු එම කාර්යය එෆ්සීඅයිඩියට පැවරිණි. අල්ලස් හෝ දූෂණ කොමිසමත්, එෆ්සීඅයිඩියත් ඩුබායි හි අභ්‍යන්තර අමාත්‍යංශය සමග මේ සම්බන්ධ සාකච්ඡාවක් කළේය. එහෙත් ඩුබායි ගිණුමේ හොර සුරක්ෂිතාගාර දොර ඇරෙන ලකුණක සේයාවක්වත් නැතිලු.