ඩී ජේ කුමාරගේ රුහුණේ මහ පහන් ටැඹ


මීට හැත්තෑ හය වසරකට පෙර (ක්‍රි. ව. 1937‐56 දක්වා) සිට මාතර හුණු කොටුව හන්දිය අසල කලක් වම් පස පිහිටි නිවසකින් ද කලක් දකුණු පස පිහිටි නිවසකින් ද පහන්දොරින්ම රාහුල විදුහල කරා ගමන් කළ මහත්මයෙකි.

සුදු සැටින් ඩිරිල් හෝ ලා දුඹුරු ටසෝ රෙද්දෙන් නිමැවුණු යුරෝපීය ඇඳුම් කට්ටලයකින් හා සිහින් දිග කරපටියකින් ද සැරසී සෝලා වර්ගයේ රවුම් හැඩය ඇති හිස් වැස්මක් ද දීප්තිමත් ව ඔප දමන ලද පාවහන් යුවළක් ද පැළඳ මිට නැමි දිග කුඩයක් අතැති ව ගත හා නෙත ඉදිරිපසටම නැඹුරු කොට අසුන් ගෙන ශාන්ත මෙන්ම තේජාන්විතව බග්ගි කරත්තයකින් ගමන් කළ ඔහු අන් කවරකු වත් නොව මාතර රාහුල විදුහලට සවර්ණමය යුගයක් උදා කළ, රුහුණේ ජනතාව ඉතා ගරු කළ ජාති හිතෛෂී ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු වූ රාහුල විදුහල්පති ව සිටි දොන් ජොහැන්නස් කුමාරගේ ශ්‍රීමතාණන් ය.

එවකට රාහුල විදුහලේ උගත් සිසු දරුවෝ ඔහු විදුහලට පැමිණි බග්ගි කරත්තයේ ගෙජ්ජි හඬ ද බග්ගිය දක්කන කරත්ත කරුවා ගේ ‘චක් මක්‘ හඬ පමණක් නොව ගොනා ගේ කුර හඬ පවා මැනෙවින් හඳුනා ගත්හ. ඒ කුමාරගේ විදුහල්පති තුමාට දැක්වූ භය සම්ප්‍රයුක්ත ගෞරවය නිසා යග විදුහලේ පැරනි තාප්පයට ඉදිරියෙන් පිහිටි දැන් ක්‍රීඩා පිටිය විජේතුංග, විජේසිංහ සහ වනිගසේකර යන මන්දිර ඉදිකර ඇති භූමිය එදා විශාල පොල් රුප්පාවකි. වේලාසනින් විදුහලට පැමිණ එහි ක්‍රීඩා කරන දුවන පනින දරුවෝ විදුහල්පති තුමන් ගේ බග්ගිය එන හඬ ඇසෙත් ම ඒ සියල්ල නවතා පන්ති කාමරවලට දුවති. පන්තිවල විහළු තහළු කරමින් සිටි සිසු දරුවෝ නිහඬ වෙති. කා ගේත් නෙත් ව්දුහල් ගේට්ටුව දෙසට යොමු වේ. ඒ කුමාරගේ විදුහල්පති තුමා පාසලට පිව්සෙන වේලාවයි. ගේට්ටුව ළඟ දී බග්ගියෙන් බසින ව්දුහල්පතිතුමා රටාවකට කුඩය බිම ඔබමින් කාර්යාලය දෙසට පිය නගයි. මුළු ව්දුහල් පරිසරය නිහඬ ය. මීයට පිමබා වැනි ය.

උදැසන ම සීනුව නාද වෙත් ම පැරණි සරම් වලවුව ඉදිරිපිට ඇති බෝ කොළයක හැඩය ගත් තණ පිටියට පන්ති අනුව රැස් වන සිසුවෝ සඳුදාවක නම් පන්සිල් සමාදන් ව සතියේ බණට ද විදුහල්පති තුමන් ගේ අවවාද සහ දැන්වීම්වලට ද සවන් දී උප විදුහල්පති තුමන් ගේ අනුදැනුම ඇති ව සමු ගෙන පිළිවෙළට පන්ති කරා යති. දවසේ වැඩ ආරම්භ වත් ම සෑම පන්තියක ම සිසුහු වැඩෙහි යෙදෙති.

ගුරු භවතකු නොපැමිණි  විටක විවේකාගාරයේ සිටින ගුරු භවත්හු ඒ අඩුව සපුරා ලති. නැතහොත් ශිෂ්‍ය නායකයෝ සිසු දරුවන් වැඩෙහි යොදවති. දෙටු පෙළ භූගෝල විද්‍යාව පාඩම උගන්වන්නේ විදුහල්පති තුමා ම ය. සියලූ ශිෂ්‍යයන් පොත් බලා හොඳට සූදානම් ව එන විෂය ද එය යි.

වාර්ෂිකව පැවැත්වෙන ඕල්කට් දානය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අන්තර් නිවාස ක්‍රීඩා තරග නව ගොඩනැගිලි විවෘත කිරීම් ආදී මේ සෑම දෙයක් සංවිධානයට අඩ හෝරාවක සාකච්ඡාවක් සෑහේ. එකලැ ආචාර්ය මණ්ඩලයේ සිටි ආර්. කේ.ජේ ද සිල්වා, ජස්ටින් විජයවර්ධන, ඩී. ඊ. විජයවර්ධන, බී. පී. ආරියවංශ, ගුණපාල වික්‍රමරත්න, එල්. ඒ. ඩඛ්ලිවු ද සිල්වා, ඒ. ද එස්. ජයවර්ධන, ඩී. පී. අතපත්තු, අයිවො ප්‍රනාන්දු, නන්දසිරි මුතුකුමාරණ, නිවුටන් හේවගේ ආදී ආචාර්ය භවතුනට සංවිධානය පැවරේ. සාර්ථක උත්සවයක් පැවැත්වේ.

වසර හැටක් පමණ පැරණි මෙවැනි දහසක් දර්ශන අප ඉදිරියේ මවන්නට රීදී තිරය හෝ රූපවාහිනී තිරය හෝ අවශ්‍ය නැත. අප ජීවත් ව සිටින තාක් කල් මේ දර්ශන නිතර නිතර අප ඉදිරියේ මැවෙනු ඇත මේ සියල්ල අප වැනි දසදහසක් සිසුදරුවන් ගේ නැණැස පාදා මීට පන්තිස් වසරකට පෙර අප අතරින් සදා වෙන් වූ ගුරුදෙවි කුමාරගේ මැතිඳුන් ගේ දහ අට වසරක විදුහල්පති සේවාවේ සොඳුරු දසුන් සෙවණැලි ය.

සෙන්පති ඕල්කට්, අනගාරික ධර්මපාල සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි ගිහි පැවිදි නායකයන් ඇති කළ බෞද්ධ ප්‍රබෝධය නිසා රාහුල ඛිහි වුන ද, එය ආදර්ශවත් බෞද්ධ ව්දුහලක් වූයෙ ‘කුමාරගෙ‘ මහතා විදුහල්පති ධුරය භාර ගැනීමෙන් අනතුරුව ය.

ඍජු බව, චාම් බව, චරිත ශක්තිය, ආත්ම ගරුත්වය, ගුණයහපත්කම, ශ්‍රද්ධා භක්තිය, අනතිමාන’බව ආදී සාධු ගුණයන් ගෙන් සමන්විත වූයෙන් තමනට හමු වූ, තමන් කථාබස් කළ හැම දෙන ගේ සිත් දිනා ගන්නට එතුමාට හැකි විය. එම නිසා ආරම්භ යුගයේ දී විදුහලේ තුබූ ගොඩනැගිලි ආදී භෞතික සමිපත් අඩුපාඩු සපුරා ගැනීම එතරම් අපහසු කරුණක් නොවී ය. එවකට රුහුණේ සිටි බෞද්ධ දානපතීහු එකිනෙකා සමග තරගයෙන් මෙන් රාහුල විදුහලට ගොඩනැගිලි සැපයූහ. එක ගොඩනැගිල්ලක කටයුතු නිමවා විවෘත කරන දිනයේ තවත් ගොඩනැගිල්ලකට මුල්ගල් තැඛිණි. කුමාරගේ විදුහල්පති තුමන් ගේ යුගයේ විදුහලට ගොඩනැගිලි ගලා ආයේ ඒ අයුරිනි.

කුමාරගේ මැති තුමන් ගේ ආදර්ශවත් දිවිපෙවෙතින් රාහුල විදුහල ඔප වැටිණි.  එතුමන් ගේ ඤණ ප්‍රභාවෙන් එවකට රාහුල විදුහල වසා තුබූ අවිදු ගණඳුර දුරු විය. අවිනෙය්‍ය තිමිර පටලය සුණුවිසුණු විය දහසක් පියුම් පිබිදිණි.  එහි සුවඳ දසත පැතිරිණි. දෙස්හි පමණක් නොව විදෙස්හි ද පැතිරිණි.

ශිෂ්‍යයන් ගේ චරිත හැඩ ගැස්වීමේ සුවිශේෂ වූ ක්‍රමයක් එතුමන් කෙරෙහි තිබිණි. බෞද්ධ ප්‍රතිපත්තිනට සහ විනය ගරුකත්වයට එහි මුල් තැන හිමි විය. විෂය බාහිර ක්‍රියාකාරකමිවලට දෙවැනි තැනක් හිමිවූ අතර බාලදක්ෂයකු ගෙන් හෝ ක්‍රීඩකයකු ගෙන් සිදුවන අවිනීතකමට ලැඛෙන දඬුවම සාමාන්‍ය ශිෂ්‍යයකුට දෙන දඬුවමට වඩා වැඩි විය. ඔවුන් සෙස්සනට ආදර්ශවත් විය යුතු ය යන නිවැරදි ආකල්පය එතුමා කෙරෙහි තිබුණි. වරදක් කළ බාලදක්ෂයාට ‘බාලයක්ෂ‘ යන නම පවා සිය අප්‍රසාදය දැක්වීමට යෙදූ අවස්ථා ගැන පෞද්ගලික ව මම දනිමි.

කුමාරගේ මහතා ගේ කරුණාක්ෂිය දුප්පත්, පොහොසත්, උසස්, පහත්, දඬ, දුර්වල, උගත්, නූගත් එක සේ යොමු විය. අවශ්‍ය තන්හි දී තර්ජනාගුලිය දික් වූයේ ද එලෙස ම කිසි දු භේදයක් නො සලකා ය. තද පාලකයකු වුව ද එතුමා හැම ගේ ගෞරවයට පාත්‍ර වූයේ මේ උපේක්ෂාව නිසා ය.

සෙඛෙහි දීත් වේදිකාවේ දීත් මුලසුන හෙබවුවත් නැතත් එතුමා ගේ අභීත ස්වරය ඇසුණි. එතුමා තම හැඟීම් නොවළහා හෙළි කළේ ය. සෙස්සෝ එම අදහස්වලට ගරු කළහ. අවනත වූහ.

රුහුණේ ජනතාවට අධ්‍යාපනික සාමයික හා සාමාජික වශයෙන් විශිෂ්ට සේවාවක් කරමින් දකුණු ලක ඒකාලෝක කළ එම රන් පහන මීට පන්තිස් වසරකට පෙර 1978 ඔක්තෝබර් මස 11 දා සදහට ම නිවී ගියේ ය. එහෙත් එතුමා ගේ අභිමතය සහ ප්‍රාර්ථනය පරිදි එම පහනින් දැල්වුණු දහස් ගණන් පහන් දිවයිනේ හැම ආයතනයක් ම හැම වෘත්තියක් ම බබුළුවයි. එ පමණක් නොව එම ආලෝකය දැන් විදෙස්වලට පවා පැතිරී ගොස් ඇත. කුමාරගේ මැති තුමා ගේ වචනවලින් ම මෙසේ දැක්විය හැකි ය.  අපේ ආදි ශිෂ්‍යයෝ විවිධ සේවාවන්හි යෙදී සිටිති. ඔවුන් ජාතික ප්‍රේමයෙන් යුතු ව ගෞරාන්විත ව කටයුතු කරනු දැක්මෙන් මට ඇති වන්නේ ප්‍රමාණාතික්‍රාන්ත ප්‍රීතියෙකි.˜

මෙම වසරෙහි ගුණ සමරුව පැවැත්වෙන්නේ ඔක්තෝබර 12 දා පස්වරු 2.30 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ය. කුමාරගේ සමරු දේශනය පවත්වන්නේ ගුරුදේවයන් ගේ ම අනුජාත ශිෂ්‍යරත්නයක් වන හෘදරෝග විශේෂඥ වෛද්‍ය උපුල් විජයවර්ධන සූරීහු ය. සිසු දරුවන් ගේ සාරධර්ම හා සදාචාරාත්මක වර්ධනයට වෙහෙසුණු ගුරුදේවයන් ගේ තවත් අනුජාත ශිෂ්‍යයෙක් එම අවස්ථාවට සහභාගී වන්නවුනට ධර්මදානමය පුස්තක කට්ටලය බැගින් ප්‍රදානය කරයි.

නන්දසිරි මුතුකුමාරණ - උප අනුශාසක

මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව