ඩිෆෙන්ඩරෙනුත් ඡන්දෙට බලපෑම්?


මොණරාගල දිස්ත්‍රික්කයේ සුළු සිද්ධි හැරුණු විට බරපතල ඡන්ද සිද්ධි වාර්තා වී නැතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

මින් මද වේලාවකට පෙර ඩිෆෙන්ඩර් ජිප් හත හටකින් පැමිණි පිරිසක් කතරගම දෙටගමුව සියඹලාගුණේ ගම්වල අස්වාභාවික ලෙස එහාට මෙහාට යමින් ඡන්ද දායකයන් තැති ගැම්මකට ලක් කළැයි වාර්තා විය.

ඡන්ද දායකයන් පළවා හැරීමට මැරයන් වැල්ලවාය ඇතිලිවැව දී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇතැයි මාණව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.

බණ්ඩාරවෙල දී මොන්ටෙරෝ රියකින් පැමිණි සන්ධාන ආධාරකරුවන් පිරිසක් ඡන්ද දායකයන්ට පහර දී ඇතැයි ද සිද්ධියට මැතිහත් වූ පොලිසියට ද ඔවුන් පහර දී ඇතැයි ද නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසයි.

බදුල්ල වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ වන්ගිය කුඹුර හා පිටවෙල ආයුධ රැගෙන ආ පිරිස් විපක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන්ට තර්ජනය කළ බව ද ඔහු කියයි.