මැද පෙරදිග රැකියා සදහා ගොස් මෙරටට පැමිණෙන අයට ලබා දෙන තීරු බදු සහනය සහ අනෙකුත් සහනයන් අයුතු ලෙස පාවිච්චි කරමින් රුපියල් තිස්දෙලක්ෂ අසූදහසක් වටිනා සිගරට් 125,200 ක් සහ ශීතකරන 03 ක් ඩුබායි සිට මෙරටට ගෙන ඒමට තැත්කළ ශ‍්‍රී ලාංකික තරුණයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේය.
සැකකරුවෝ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21,24 සහ 31 යන වයස්වල තරුණයෝ වෙති.
මොවුහු මීට දින තුනකට පෙර මෙරට සිට ඩුබායි වෙත ගොස් ඇති අතර ඊයේ අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 226 දරණ ගුවන්යානයෙන් යළි මෙරටට පැමිණ ඇත්තේ මැද පෙරදිග වසර ගනනාවක් සේවය කර පැමිනෙන්නවුන් ලෙස රේගුවට අගවමිනි.
රේගු නිලධාරීන් පවසන්නේ මොවුන් තිදෙනා මැදපෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන අයට ලබා දෙන ලිහිල් බව ප්‍රයෝජනයට ගැනීමට සූක්ෂමව ක‍්‍රියා කර ඇති බවය. කෙසේ වෙතත් රේගු අධිකාරී මහේන්ද්‍ර අර්තනායක මහතාට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී මොවුන්ගේ ගමන් මළුවල තිබී මෙම සිගරට් තොගය සොයා ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී මහේන්ද්‍ර අර්තනායක ඇතුළු රේගු නිලධාරීහු සිදුකරති.