ටෙලිකොම් සේවකයින් ලෙස ගිහින් තඹ කම්බි කපලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ටෙලිකොම් සමාගමේ නඩත්තු සේවකයන් ලෙස වෙස් වලාගෙන රාත්‍රී කාලයට ටෙලිකොම් ගලි වලවල් වල "සන්දාම" තඹ කම්බි සොරා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ ටෙලිකොම් සමාගමේ ලාංඡනය යෙදු ටී ෂර්ට් 2 ක් ලුමිනස් ජැකට් එකක් ,නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මාර්ගය මත තබන තැඹිලි පාටින් යුත් ප්ලාස්ටික් කෝන් කීපයක් , තබ කම්බි කැපීම සඳහා යොදා ගන්නා උපකරණ , කපන ලද සන්දාම තඹ කම්බි කිලෝ 150 ක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

2022 වසරේ අග භාගයේ සිට මේ දක්වා කහතුඩුව පොලිස් වසමේ පිහිටා තිබෙන ටෙලිකොම් සමාගමට අයත් ගලි වලවල්වල තිබෙන සන්දාම තඹ කම්බි කැපීමේ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් ටෙලිකොම් සමාගමට අයත් වෑතර ප්‍රදේශයේ භාර නිලධාරියා විසින් පැමිණිලි තුනක් සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ඊට අදාලව කහතුඩුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරේෂ් පෙරේරා මහතා ඔත්තුකරුවන් දැනුම්වත් කර තිබීමේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් පිරිස කහතුඩුව නගරයට ආසන්නව තබ කම්බි කැපීම සඳහා සූදානම් වන අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .