ටෙලර් යන්ත්‍රවලින් මුදල් සොරාගත් හිටපු නාවික සෙබළා මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මුදල් ලබා ගැනීමට ඒ.ටී.එම් කුටි වෙත පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ කාන්තාවන් මුලාකර  ඔවුන් සතුව තිබෙන ඒ ටි එම් කාඩ් පත සූක්ෂම ලෙස ලබාගෙන  රුපියල් කෝටියකට ආසන්න මුදල් වංචා කළ හිටපු නාවික සෙබළා අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු මිරිහාන ප්‍රදේශයේ බැංකුවක් අසලදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  ඔහු සතුව තිබූ විවිධ බැංකු වලට අයත් ඒටීඑම් කාඩ්පත් 15 ක් සොයාගත් බව පොලිසිය කියයි.

පිළිවෙලට හැඳ පැළඳ ඒටීඑම් කුටි  ආසන්නයේ රැඳී සිටින සැකකරු   එම කුටි වෙත මුදල් ලබාගැනීමට පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයන් සහ කාන්තාවන් මුදල් ලබා ගැනීමට උදව් ඉල්ලා සිටීමේ දී 

ඔවුන්ට ඒ සඳහා සහාය වන අයුරින් මෙම වංචාව සිදු කර ඇත.

වයසක පුද්ගලයින් සතු සතුව තිබෙන කාඩ් පත රැගෙන රහස්‍ය අංකය අසාගෙන සැකකරු සතුව තිබෙන  ගනුදෙනුකරු රැගෙන ආ බැංකුවටම අයත් අවලංගු කාඩ්පතක්  ඒ ටි එම් යන්ත්‍රයට බහා  කිසියම් දෝෂයක් හේතුවෙන් මුදල් ගැනීමට නොහැකි බවත් ඒ පිළිබඳ බැංකුවෙන් අසන ලෙස එම පුද්ගලයා හෝ කාන්තාව බැංකුව තුළට යවා  එම ස්ථානයෙන් ඉතා සූක්ෂම ලෙස පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව සැකකරු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත  වංචනික ලෙස උපයෝගී කරගෙන ඒ ටි එම් කුටිවලින් මුදල් ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත.

තදින් හොරයින්  මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින සැකකරු ලබාගත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඒ සඳහා සඳහා වැය කර ඇතැයි පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගේ වංචාවට හසුවූ  පුද්ගලයන්          පිළියන්දල , මහරගම ,කොට්ටාව , දෙහිවල හා මිරිහාන පොලිස් ස්ථාන වලට  පැමිණිලි 60ක් පමණ මේ වන විට සිදුකර ඇතැයි  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.